1848 උඩරට කැරැල්ල ගොංගාලේ ගොඩ බණ්ඩා හා පුරන් අප්පු යන දෙදෙනාගේ මූලිකත්වයෙන් ඇතිවූවකි. මේ දෙදෙනාම පහත රැටියන්ය. උඩරට කෝපි වගාව නිසා උඩරට සිට කොළඹට කෝපි පිරවූ ගැල් ප‍්‍රවාහන කටයුතු සදහා පහතරට සිට උඩරටට ආ ගොංගාලේ ගොඩ බණ්ඩා හා පුරන් අප්පු උඩරටින් විවාහ වීම නිසා උඩරටට සම්බන්ධ විය. 1848 ජූලි 20 රන්ගිරි දඹුලූ විහාරයේ මහනායක ගිරන්නේගම ඉන්ද්‍රජෝති මාහිමි විසින් ගොංගාලේ ගොඩ බණ්ඩා ‘‘ශ‍්‍රී වික‍්‍රම සර්ව සිද්ධිප’’ නමින් රජකමට පත් කර කඩු පළඳවන ලදී. ඔහුගේ සහෝදර වීදි පැළල්ලේ බණ්ඩාර යුවරජ විය. ගොංගාලේ ගොඩ බණ්ඩාගේ මුල් ගම කැලණිය අසලය.
පුරන්අප්පු මොරටුවේ ඉපිද උඩරටට පැමිණ හාරිස්පත්තුවේ වාසය කළ ගුන්නෑපාන ආරච්චිගේ දුව වූ බණ්ඩාර මැණිකේ විවාහ කර ගත්තේය. බංඩාර මැණිකා ලද දියණිය සිරිබර මැනිකා නම් විය. කැරැල්ලේ සෙසු නායකයන් වූයේ කරෝ අප්පු හා හඟුරන්කෙත ඩිංගිරාලයි.
කුඩාපොල හිමි කැරැල්ලට සහභාගි වූ අයුරු
කැරැල්ලේ උඩරට දඹුල්ල රාජාභිෂේක උළෙලට කුඩාපොල හිමි සහභාගිවී ඇත. එතුමාට විරුද්ධව තිබූ ප‍්‍රධාන චෝදනා නම් ඉංග‍්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසූ කැරලි නායකයන් ගැන දැන තොරතුරු සැඟවීම, ඉංග‍්‍රීසීන්ට විරුද්ධව පුස්කොල පත‍්‍රිකා අම්බලම් වල ඇලවීම හා කැරලි නායකයන් සැඟවී සිටි තැන් හෙළි නොකිරීමයි.
කඩහපොල ගම පහිටීම
කුඩාපොල හෙවත් කඩහපොල වයඹ පළාතේ කුරුණෑගල දිසත‍්‍රික්කයේ නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයකි. නාරම්මල සිට කිලෝමීටර් හතරක් දුරින් කඩහපොල ගම ඇත.
කුඩාපොල යනුවෙන් ව්‍යවහාර වනුයේ මෙම කඩහපොල ගම බව පෙනී යයි. එතුමා ගැන තොරතුරු ලබා ගැනීමට එතුමා වාසය කළ කඩහපොල ශ‍්‍රී ශෛලබිම්බාරාමයේ කඩහපොල ප්‍රේමානන්ද හිමියන්ගෙන් තොරතුරු විමසා යැව්වෙමි.
එහෙත් ශෛලබිම්බාරාමයේ කුඩාපොල නමින් හිමිනමක් වාසය කළ බවට කිසිදු ඓතිහාසික තොරතුරක් හමු නොවූ බවට ශෛලබිම්බාරාමය අධිපති
කඩහපොල ප්‍රේමානන්ද නාහිමි මට ලියා එවීය.
කඩහපොල කිට්ටුවම පිහිටි නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ සහකාර විදුහල්පති මාහෝ සුධම්ම හිමි අප විසින් කඩහපොළ හිමි ගැන තොරතුරු විමසා මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මහතාට යැවූ ලිපියට වටිනා තොරතුරු ඇතුළත් පිළිතුරක් එවා ඇත. එහි එන තොරතුරු කෙටියෙන් මෙසේය.
- අද කඩහපොල යන ගම එදා කුඩාපොළ නමින් ගැමියන් අතර භාවිතා විය. ඒ නම් දෙකම එකම ගමට යෙදුන ඒවාය.
- කුඩාපොල හිමි පැවිදි වීමට පෙර ගිහි නම සියාතු බන්ඩාර ය.
- සියාතු බණ්ඩාරගේ පියා පුන්චප්පුහාමිය. මව රුසිහාමිය. මේ පරපුරේ ගිහි පෙලපත් නාමය දුක්ගස් මුදියන්සේලාගෙ නම් විය.
- වයස 14 දී පමණ ගිහි ජීවිතය අතහැර දමා සියාතු බණ්ඩා පැවිදි විය.
- සියම් නිකායට අයත් කඩහපොල ශ‍්‍රී ශෛලබිම්බාරාමය විහාරයේ පැවිදි වූ සියාතු බණ්ඩාගේ ගුරු හිමිගේ නම කිරිඇල්ලේ අත්ථදස්සිය.
- කඩහපොළ ශ‍්‍රී ශෛලබිම්බාරාමයේ වයස 14 දී පැවිදි වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණියේ මහනුවරටය. ඒ පිරිවෙන් කාලය තුළ කුඩාපොල හිමි නතරවී සිටියේ කටුගසතොට සිට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි කහල්ල පන්සලේය. මේ වන විට තරුණ වියේ සිටි කුඩාපොල හිමි කැරැල්ලට ඇදී ගියේ කහල්ල පන්සලේ නැවතී සිටි කාලය තුළදී බව පෙනී යයි.
කුඩාපොල හිමිගේ පැවිදි නාමය
- කුඩාපොල යනු කඩහපොල නමින් ප‍්‍රසිද්ධ නාරම්මලට නුදුරු ගම්මානයකි. කුඩාපොල යන නම පරීක්ෂාකරන විට එය එහිමිගේ ගමේ නම බව පෙනී යයි. පැවිදි නාමය අප‍්‍රකටයි.
- කුඩාපොල හිමිගේ නම හා පැවිදි නාමය සොයා ගැනීමට මම දීර්ඝ උත්සාහයක් ගතිමි. 1961 පුංචිබණ්ඩාර සන්නස්ගල ලියා පළ කළ සිංහල සාහිත්‍යවංශය මෙතුමාගේ නම දක්වන්නෙ කුඩාගොඩපොළ හිමි නමිනි.(සිංහල සාහිත්‍ය වංශය පිටුව 511) කුඩාපොල යන ගමේ නමටත් වඩා එය සංකීර්ණ වේ.
- මිරැන්ඩෝ ඔබේසේකර ලියා පළ කළ කන්ද උඩරට සමාජ සංවිධානය ග‍්‍රන්ථයේ කුඩාපොල හිමිගේ නම කුඩාපොල රාහුල ලෙස දක්වයි.
මිරැන්ඩෝ ඔබේසේකර දක්වන තොරතුරු නිවැරදි නම් කුඩාපොල හිමිගේ පැවිදි නාමය කුඩාපොල රාහුල(කන්ද උඩරට සමාජ සංවිධානය පිටු 28 29) මේ ගැටලූව පිළිබඳ කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් විමසා යැව්වෙමි. කුඩාපොල හිමිගේ පැවිදි නම ගැන නිශ්චිත සාධකයක් නැතත් කඩහපොළ රතනසාර යන පැවිදි නාමය එතුමාට තිබූ බව අනුමාන වශයෙන් මහාචාර්ය අනුර මනතුංග දක්වයි. - ඒ පිලිබඳ කිසිම සාක්ෂියක් හෝ සටහනක් කටුගසතොට කහල්ල පුරාණ විහාරයේද ඉතිරිව නැති බව කහල්ල පුරාණ විහාරවාසී පාතදුම්බර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ සමායෝජක වටපාන ධර්මකීර්ති හිමි මා සමග කීවේය. ඉංග‍්‍රීසීන් විසින් එල්ල කළ තුවක්කු ප‍්‍රහාරයක ලකුණු කහල්ල පුරාණ පන්සලේ දොරක විය. දැන් එම දොර ගලවා පන්සල අසලම දේවාලයක සවිකර ඇත්තේ කහල්ල පුරාණ විහාරයේ වර්තමාන අධිපති පොල්ගොල්ලේ ධම්මකුසල හිමි ය.
එස්. කේ. ජයවර්ධන
විශ්‍රාමලත් වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක