රාජ්‍යසම්මාන දිනූ කෙටිකතා කරුවෙකු කවියෙකු භාෂා පර්යේෂකයෙකු හා වියරණ උගතෙකු වූ මදුරසිංහ ගුණතිලක මහතා ශ‍්‍රී ලංකාවේ ලේඛණ කලාවට ඉමහත් සේවයක් කළ අයෙකි. නවක ලේඛක ලේඛිකාවන්ගේ දක්ෂතා ඔප නැංවීමට හෙතෙම ක‍්‍රියා කලේ කිසිදු ගුරු මුෂ්ඨියක් තබා ගැනීමෙන් තොරවය.තමාගෙන් ඉගෙනගත් ශිෂ්‍යයෙක් තමාට වඩා ඉහලට යනු බලා හෙතෙම ආශීර්වාද කළේය.සතුටු විය.
එතුමා විසින් 1992 දී එළිදක්වන ලද ”කෙටිකතා හුරුව\” නමැති කුඩා පොතෙහි පිවිසුමේ මෙසේ සඳහන් වේ. වයස අවුරුදු 7-15 අතර දරුවනට කෙටිකතා කියවන්නට දීමෙන් ඔවුන් තුළ ඒ පිළිබඳ ඇල්ම දියුණු කළ හැකි ය. එබැවින් දෙමාපියන් හා ගුරු භවතුන් මේ කෙටිකතා කියවීමට දරුවන් උනන්දු කරත්වා.
ලෝ පතළ වියත් කෙටි කතා කරුවන්ගේ කෘති විමැසුමට ලක් කර අවුළා ගත් පොදු කෙටිකතා ලකුණු සමහරකි මේ.
(අ) සිත් ඇදගන්නා මාතෘකාවක් යෙදීම.
(ආ) හදිසියේ ආරම්භ කිරීම,
- දෙබස් මගින්.
- විස්මය උපදවන සිද්ධි මගින්.
- විස්මයාර්ථවත් වදන් මගින් නොහොත්
- පාඨකයා එතෙක් ඔහු සිටි ලොවින් ඈත් කර අළුත් අවස්ථාවකට යොමු කිරීමෙන්.(ඇතැම් විට මෙබඳු කරුණු කීපයක් එකට යෙදේ.)
(ඇ) ප‍්‍රකාශ කරන දෙය ට වැඩි දෙයක් ඇගෙන්නට සැලැස්වීම.
- වදන් ඇසුරු කරගෙන පවතින බාහිර අර්ථ හෙවත්ධ ධ්වනිතාර්ත මගින්.
- කියන දෙය කෙළින්ම නොකියා හැගෙන්නට සැලැස්වීමෙන් (වක්‍රෝත්තියෙන්)
- වදන් ගැළපීමේ විශේෂ ක‍්‍රම මගින්( ව්‍යංගයෙන්)
- කියනු ලබන දෙය වෙනුවට එහි අනුරුවක් ඉදිරිපත් කිරීම(සංකේත මගින්)
(ඈ) විස්තර කිරීම හැකි තරම් දුරට අඩු කිරීම (විචාරාත්මක පාඨකයාට සිතාගත හැකි අදහස් නොකියා හැරීමෙන්)
(ඉ) පබද අවසන්වනතුරු ඉතා වැදගත් යමක් අනාවරණය නොවන ලෙස රැක ගැනීම.
(ඊ) මසුරකු තම ධනය පරිහරණය කරන පරිද්දෙන් ඉතා අඩුවෙන් වචන පාවිච්චි කිරීම.
(උ) කතාවේ ඉලක්කය වුවත් යන්තම් එළිදරව් කරනු මිස සම්පූර්ණ වශයෙන් පැහැදිලි නොකිරීම.
(ඌ) එසේ ඉලක්කය පිලිබඳ ඉඟිය ඉදිරිපත් වූ වහාම පබැඳුම අවසන් කිරීම.(පාඨකයාට තවදුරටත් යමක් සිතා ගන්නට ඉන් ඉඩ සැලසේ)
මෙහි ඇතුළත් කළේ කෙටිකතා පිළිබඳ ප‍්‍රධාන ලක්ෂණ සමහරක් පමණකි.වියතුන් විසින් වරින් වර එළිදක්වනු ලබන තවත් කෙටිකතා ලක්ෂණ වෙතොත් ඒවාද ඔබගේ දැනීමට එකතු කරගන්න.
මේ පොතෙහි අඩංගු කෙටි කතාවක් සහ ඒ සඳහා කර්තෘ ගේ විවරණය ද පහත සඳහන් වේ.
කජුයි බතුයි
සෙලෝ හාමි පොල් අතු මුදල් බවට හරවන හැටි දනී. ඒත් එය එතරම් පහසු වැඩක් නම් නොවේ. ඒ සඳහා ඈ පොල් අතු පොඟවන්නේ පාලම් වළේය. ඒවා වියන්නේ මාදං ගස් සෙවණේය.පාලම් වළේ සිට මාදම් ගස් සෙවන දක්වා පෙඟූ පොල් අතු ඉබේ නොයයි. පෙඟූ පොල් අතු බරින් වැඩිය. එබැවින් ඕ මහත් අපහසුවෙන් පොල් අතු අදී. ඉදිරියට නැමී අදී. හති දමමින් අදී. හදිසියේම පොල් අතු ඇදී ආ වේගය බාල වේ. ඉදිරියට නැමුණු ඇගේ හිස කෙලින් වේ. ආපසු බැලේ. ඒත් පෙනෙන්නට තරම් හේතුවක් නැත. ඕ නැවතත් අදී . අඩියක් දෙකක් පහසුවෙන් ඇදේ. නැවත අතු ඇදී ආ වේගය බාල වේ. ඕ නැවත පිටුපස විපරම් කරයි. ඒත් එයට හේතු නොපෙනෙයි. ඕ නැවතත් අදී. මෙවිටද මඳ දුරක් පහසුවෙන් ඇදී ආ අතු එකවර බරින් වැඩි වේ. වේගය බාල වේ.
”බෑ මේ විදියට මේ වැඩය කරන්න.කොහොමහරි පොල් අතු බර වැඩි වන හේතුව හොයන්න ඕන.’’
සෙලෝ හාමි පොල් අතු ගොන්න බිම දමා අඩි කිහිපයක් ආපසු යයි.වටපිට බලයි. සෝදිසි කරයි. මෙ විට ඒ අසල වූ දම් පදුර මඳක් සෙල වෙනු දකී.
”සුළං පොදක් නැති වෙලාවෙ කොහොමද මේ දම් පදුර සෙළවෙන්නේ? ඔ දම් පඳුර අසලටම යයි.”ආ..ආ..ආ… මේ ඉන්නේ මගේ චූටි ලේන් පැටියනේ, අනේ අනේ චූටි පුතේ ඔය අම්මට උදව් කරන හැටි ද ? ඒ වුණත් මං චූටි පුතාට ගහන්නේ නෑ. හා දැන් ඉතින් මේ පොල් අත්තක් ඇදගෙන ඉස්සර වෙන්න. කියන දේ අහන මගේ හොඳ පුතා නොවැ.’’
පුංචි ජෝති පොල් අත්තක් ඇදගෙන ඉස්සර වෙයි.සෙලෝහාමි ඉතිරි පොල්අතු ඇදගෙන ජෝතිගේ පිටුපසින් යයි. දැන් දෙදෙනම මාදං ගස් සෙවනේය. චූටි ජෝති තෙත පොල් අත්ත ඇද හෙම්බත් වී හති අරී. අවුරුදු එක හමාරක දෙකක ළමයෙකුට පෙඟූ පොල් අත්තක් ඇදගෙන යාම ලේසි වැඩක් නොවන බව අම්මා දන්නේ නැද්ද?
අත හෙල්ලූවොත් කට හෙල්ලිය හැකි යනු සෙලෝ හාමි නිතර කියන කියමනකි. ඒ අනුව ඕ පොල් අතු වියන්න පටන් ගනියි. ජෝති අම්මා දෙසවත් නොබලයි. අම්මා ඒ බව ගණනකට නොගනී. ටික වේලාවකට පසු ජෝතිගේ සිඟිති කට සෙලවේ.
”මං අම්මා එක්ක තරහයි’’
”මං නං චූටි පුතා එක්ක තරහ නෑ, අද පොල් අතුත් ඇදලා දුන්න නොවැ’’ .
”මං අද රෑට අම්මා කවන බත්ක න්නෙත් නෑ’’
”ඒක කොච්චර හොඳද, ලොකු වෙනකොට ළමයි කවා ගන්නේ නෑ , අතින් කනවා, දැන් චූටි පුතා චූටිම නෑ,අම්මගේ වැඩවලටත් උදව් වෙන ලොකු ළමයෙක්’’.
”නෑ මං කොහොමත් රෑට කන්නෙ නෑ’’
”අපොයි එහෙම නම් පුතාගේ බත් පිඟාන උඩහගෙදර මලී ට දෙන්නං ඒ ළමයා කජුයි බතුයි කන්න හරි කැමතියි’’.
”මං මලී ට ගහනවා’’.
”ඒ මොකද පුතා, පුතා කන්නෙ නෑ කිව්ව හන්දනේ මලීට දෙනව කිව්වේ’’.
”මං එහෙම කිව්වේ තරහට නොවැ අම්මෙ’’.
”ආ… එහෙමද? තරහ නං වැඩි වෙලා තියෙන එකක් නෑ. බත් ඉදෙන කොට පුතාගේ තරහ ඉබේටම ඉවර වේවි’’.
මෙ විට කුඩා ජෝති කිසිත් නොකියා අම්මාගේ ඇඟට හේත්තු වී මුහුණ සිඹී.ඔහුගේ මුහුණේ ජයග‍්‍රාහී පෙනුමක් මතුවේ.
”මං කජු එක්ක බත් කන්න බැරිය කිව්වෙ නැහැනේ අම්මේ’’.
විමැසුම
(අ) කජු කෑමට රුචි නොවන්නෝ වෙද්ද?
මාතෘකාව කියවීමත් සමඟ පාඨකයාට කතාව කියවීමේ රුචිය ලියලනු ඇත. එයින් පසු පාඨකයාට නුහුරු පරිසරයකට ඔහු කැඳවාගෙන යයි.
(ආ) මේ කතාවෙන් උපුටාගත් යෙදුම්වල සැඟවුණු අරුත් විමසා බලන්න.
”පොල් අතු මුදල් බවට හරවන හැටි…’’
”මගේ චූටි ලේන් පැටිය නෙව…’’
”අත හෙල්ලූවොත් කට හෙල්ලිය හැක…’’
”ජෝතිගේ කට සෙලවේත්‍වත්‍ව…’’
”ඒ ළමයා කජුයි බතුයි කන්න හරි කැමතියි…’’
මෙහි කුඩා දරුවා ලේන් පැටියා ලෙස සංකේතවත් කිරීමෙන් ඔහුගේ මවගේ ඇති මෘදු ගුණය,මේ දඟ වැඩයෙන් ඇය යටි හිතින් සතුටට පත්වුණු බව, දරුවාගේ අහිංසක දඟකාර ගතිය වැනි ධ්වනිතාර්ත රැසක් මතුවන හැටි සිතට ගන්න.
(ඇ) අම්මා කියන පහත සඳහන් කියමන් වල කෙළින් ම නොකියා කියවෙන ව්යංගාර්ථ සමූහයක් ඇත. පුතුගේ අදහස් අනුමත කරන ව්‍යාජයෙන් මව
පුතුගේ අදහස් ප‍්‍රතික්ෂේප කරන හැටි විමසන්න.
”කියන දෙය අහන මගෙ හොඳ පුතානෙ..’’
”මං නං චූටි පුතා එක්ක තරහ නෑ. අද පොල් අතුත් ඇදලා දුන්න නොවැ.’’
\”ලොකු වෙනකොට ළමයි කවාගන්නෙ නෑ, දැන් චූටි පුතා චූටිම නෑ, අම්මගේ වැඩටත් උදව් වෙන ලොකු ළමයෙක්.’’
”ඒ ළමයා කජුයි බතුයි කන්න හරි කැමතියි.’’
”තරහ නං වැඩි වෙලා තියෙන එකක් නෑ බත් ඉදෙන කොට ඉවර වේවි ….’’
මේවායින් පාඨකයාට නොකියා කී අදහස් රැසක් මතුකර ගත හැකි වේ.
(ඈ) ළමයාත් (ජෝති) මවත් චරිත අතින් කොතරම් දුරද? එබැවින් ඒ දෙදෙනා අතර ගැටුමේදී නැණවත් මව දරුවා යහමගට හරවා ගන්නා අන්දම අවබෝධ කර ගැනීම උදෙසා කතාවේ අවසානය දක්වාම පාඨකයා සැලකිලිමත් ලෙස කතාව කියවීමට පෙළඹේ. දරුවා පරාජය වූ බවක් නොදත්තා සේම මව දිනූ බවත් ද ඉස්මතු නොකිරීම කොතරම් වැදගත් දැයි ඔබට වැටහෙනු ඇත.
(ඉ) මෙහි වැඩි විස්තර කිරීම් ඇත්තේ ම නැත. දෙබස් මගින් චරිත දෙක ගොඩනගා ඇත. ඒ නිසා කතාව කෙතරම් කෙටිකර ගත හැකිද? ඒ තරම් වැදගත් නොවූවත් පාඨකයන්ට සිතන්නට හේතු හෝ ඉතිරි කර ලියා තැබී මෙන් කතාව අගයෙන් වැඬේ.
(ඊ) කුඩා දරුවාගේ මනසේ ඇති වන යහපත් පරිවර්තනය මේ කතාවේ ඉලක්කය වේ. එය ක‍්‍රමානුකූලව ගොඩ නැගී එයි.
(උ) කතාවේ අවසානඡේදය නැවත කියවන්න.එහි බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය ගැබ් වී ඇත.එසේම එතනින්ම කතාව අවසානය විය. මෙහි අම්මාගේ මුහුණ සිඹීම, ජෝතිගේ ජයග‍්‍රාහි පෙනුම වැනි යෙදුම් වල ධ්වනිතාර්ථ කෙතරම් ගැලපේද? විමසන්න.