අද සන්නස ආලින්දයට කැඳවාගෙන එන්නේ ගීත සිය ගණනක් ජාතියට දායාද කරමින් එදා සිට අද දක්වාම එකසේ දස ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ ආදරයට පත්ව ඇති සෝමතිලක ජයමහ ශූරීන්.
සන්නස: ආයුබෝවන්! කියා ඔබතුමා ආදරයෙන් පිලිගන්නවා.
සෝමතිලක මහත්මා: ආයුබෝවන්!.

සන්නස: අප මුළින්ම දැන ගන්න කැමතියි ඔබේ ළමා කාලය හා පාසැල් කාලය සම්බන්ධව.
සෝමතිලක මහත්මා: මම ඉපදුනේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නක්කාවත්ත කියන ගමේ. මගේ අම්ම තාත්තා දෙන්නටම ඉතාම ලස්සනට ගීත ගයන්නට පුළුවන්. මම කුඩා කාලයේ නිදා ගන්න පුරුදුවෙලා හිටියේ තාත්තගෙ ළඟ. ඒ කාලෙ මට නින්ද යනකන්ම තාත්ත ගී ගැයුවා. තාත්ත ගායනා කලේ ඒ යුගයේ අසන්නට ලැබෙන ගීත. මා මේ කියන්නෙ අදින් අවුරුදු හැත්තෑ ගණනක අතීතය ගැන. මම හිතන්නේ අම්මගෙන් තාත්තාගෙන් ලැබුණු ජානමය ගුණය තමයි මටත් පිහිටල තියෙන්නෙ. ඒ කාලේ අපේ ගමේ ගෙවල් සීයකට විතර තිබුණේ එක ගුවන් විදුලි යන්ත‍්‍රයයි. අපි ඉතින් ගුවන්විදුලි යන්ත‍්‍ර තියෙන ගෙවල් වලට ගිහිල්ලා ගීත අසනවා. ඉස්සර කාලේ ගමේ මගුල් ගෙදරක් තිබුනාම ලවුඞ්ස්පීකර් බඳිනවා ගස් වල. ඉතින් තැටි දාලා සින්දු අහන්න පුළුවන්. ඒ දවසේ අපි ඉන්නේ තැටි වාදනය කරන යන්ත‍්‍රය ගාවයි. අපිට අවශ්‍ය ගීත තැටිය තෝරල දෙනව. ඊට අමතරව අලූත් චිත‍්‍රපටිය එහෙම ආවහම ඒවයෙ තියෙන ගීත ප‍්‍රචාරය කරන්න සහ චිත‍්‍රපටිය පිළිබඳ විස්තර කියන්න වාහනයක් එනවා ගමට. අපිත් එතෙන්ට ගිහිල්ලා අලූත් සින්දු අහගෙන ඉන්නවා.ඔය විදියට තමයි අපි ඒ දිනවල සින්දු ඇහුවේ.සිරියමේ සාරා ගීතය මුල් වතාවට ඇහුවේ එහෙම තමා. මම ඉගෙනගත්තේ නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ. අපේ ඉස්කෝලේ තිබුණ සාහිත්‍ය සංගමයක්, මේ සංගමයෙන් විටින් විට රැස්වීම් තියනවා. හැමදාම වගේ ඔය රැස්වීමේ කතා පැවැත්තුවේ වෙනත් වෙනත් විශේෂාංග ඉදිරිපත් කළේ එකම කට්ටියක්.ඔය අතරේ අපේ ඉසේ කා්ලෙට ආවා අලූත් විදුහල්පතිවරයෙක් ජයසුන්දර කියලා. මේ සංගමයේ කටයුතු පැවැත්වුණේ ඒ විදුහල්පතිතුමා හිටපු ශාලාවෙමයි. විදුහල්පතිතුමාත් මේ සාහිත්‍ය සංගමයේ කටයුතු ගැන කාර්යාලයේ ඉඳගෙන සවන් දෙනවා. එතුමට පෙනී ගියා හැමදාම මීට සහභාගී වන්නේ එකම කට්ටියක් කියලා. පස්සේ සංගමයේ නිලධාරීන් ගෙන්නලා මේ ගැන කියලා මීට පස්සෙ එහෙම කරන්ඩ බෑ, ඒගොල්ලොන්ගේ සංගමයේ වැඩ අවසන් උනාට පස්සෙ හැමෝගෙම නම් ලියලා පෙට්ටියකට දාල මගේ ළඟට ගේන්න ඕනි. මම ඒකෙන් දහ දෙනෙක් තෝරල දෙනව. ඒ අයත් අනිවාර්යෙන්ම කුමක් හෝ අංගයක් මේ සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. මම බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න හැම ළමයෙකුගේම තියෙන දක්ෂතා එළි දක්වන්නත් ඒ අයගේ සබකෝලය නැති කරන්නත් කියලා. මම සාමාන්‍යයෙන් හිටියේ සභාවේ පෙරට නොඑන කෙනෙක් හැටියට. ඒත් මට තේරුණා මේ සැරේ නං එකෙන් ගැලවෙන්න බැරි බව ඉතින් මම හොඳින් සූදානම්වෙලා හිටියා මට අවස්ථාවක් ආවොත් ගීතයක් ගායනා කරන්න. මම පුරුදු වෙලා හිටියා ඒ එම් යූ රාජ් මහත්මයාගේ නාමෙ නොදිරනා කියන ගීතය. ඊළඟ රැස්වීමේදීම විදුහල්පතිතුමා තුණ්ඩු කෑලි තෝරනකොට මගේ නමත් තේරුණා. ඉතින් මම ගිහිල්ලා ඒ ගීතය ගායනා කළා. ගොඩක් අය එය ඉතාමත් ආසාවෙන් ශ‍්‍රවණය කළා. ඔය රැස්වීමේ ලේකම් හැටියට හිටියේ සමරසිංහ කියලා ඒ පැත්තෙම ශිෂ්‍යයෙක්. ඊට පස්සේ ඔහු කළේ අර තුන්ඩු කෑලි දානකොට මගේ නම උඩින්ම තිබ්බා. විදුහල්පතිතුමා අතින් හැම වාරෙකම වගේ මගේ නම කියැවුණා. ඊට පස්සේ විදුහල්පතිතුමාට සැක හිතිලා ලේකම් ගෙන්නලා ඇහුවා මොකද ඒ කියලා. ඉතින් ලේකම් කිව්වා එයා සින්දු කියන හැටි ගොඩක් ලස්සනයි ඒවා අහන්න අපි කැමතියි. ඒක නිසා එයාගේ නම උඩින් තියෙනවා කියලා. ඊට පස්සේ සංගමයේ ලේකම්ට මම කිව්වා එහෙම මගේ නම උඩින් තියන්න එපා.මගේ ගීතයක් න්‍යාය පත‍්‍රයටම දමන්න කියල. ඊට පස්සෙ සාහිත්‍ය සංගමය හැම වරකම අවසන් කරන්නේ මගේ ගීතයකින්. මේ නිසා මගේ සබකෝලය නැති වුණා වගේම ගීත ගැයීමේ හැකියාව තවදුරටත් වර්ධනය වුණා.
සන්නස: ඔබතුමා රැකියාව වශයෙන් කළේ?
සෝමතිලක මහත්මා: මට මුළින්ම ලැබුනේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ රැකියාවක්. මෙහිදී පැවරී තිබුණේ සංගීත වැඩසටහන් සඳහා ශිල්පීන් කැඳවීම, ඔවුන් අදාළ ස්ථාන වලට යොමුකිරීම, ඔවුන්ට අදාළ වැඩ පිලිබඳ පැහැදිලි කර දීම ආදියයි. මේ රැකියාව නිසා මට බොහොමයක් ශිල්පීන් හඳුනාගැනීමට ලැබුණා. මට ගායන හැකියාව තිබුණත් ගායකයෙක් වෙන්න මට ඒ යුගයේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දිනක් ගුවන් විදුලි සංස්ථාවේ ගායකයින් තේරීම සඳහා පරීක්ෂණයක් පැවැත්වුණා.මේ සඳහා මමත් ඉදිරිපත් වුණා .මෙහිදී පරීක්ෂක මණ්ඩලයට අපිත්, අපි පරීක්ෂක මණ්ඩලයටත් පෙනෙන්නේ නැහැ. කටහඬ පමණයි ඇහෙන්නේ.මගේ ගීතය ඉදිරිපත් කරන වෙලාවෙම ගුවන් විදුලියේ සංගීත අංශ ප‍්‍රධානී පී ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා පරීක්ෂක මණ්ඩලය ඉන්න කාමරයට ඇවිල්ල මගේ ඉදිරිපත් කිරීම අහගෙන ඉඳල තියෙනව. පස්සේ එතුම මුණගැහෙන්න කියල මට පණිවුඩයක් එව්වා. එතුමා මට කිව්ව ඔබ ගායනය කෙරෙහි විශේෂ කුසලතාවක් තිබෙන පුද්ගලයෙක්. ඔබ සංගීතය ඉගෙනගන්න කියල. ඊට පස්සේ එතුමා මමත් තව දෙතුන් දෙනෙකුත් එකතු කරගෙන පන්තියක් පටන් ගත්තා. ඉන් පසු මම සැම ඉරිදාවකම එතුමාගේ පන්තියට ගියා ඉගෙනීමට. පසුව දිනෙක මම මගේ ගීතයකට තනුවක් යොදා ගන්න එක්තරා සංගීත අධ්‍යක්ෂක වරයෙක් හමුවන්න ගියා. ඒ අවස්ථාවෙ ඔහු කාර්යබහුල නිසා එය තියල ගිහින් හෙට එන්න කිව්වා. මම ඊළඟ දවසේ ගියා.එදා එතුමගේ යාළුවො කට්ටියක් ඇවිල්ල මම ආපහු හැරිල ආව. ඔය විදියට මට දවස් හයක් යන්න වුණා ඒකට තනුව හදා ගන්න. සංගීතය ඉගෙන ගැනීමේ වටිනාකම මට හොඳට තේරුණේ එදා තමයි. මගේ ගොඩක් ගීත වල පදමාලාව තනුව සංගීතය මගෙමයි. ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා විශේෂයෙන්ම මාව සංගීතය උගන්නන්න තෝරාගත්තේ එතුමාට විශ්වාසයක් තිබුණා ගායනය පැත්තෙන් මට හොඳ අනාගතයක් තියෙනවා කියල. සුනිල් සරත් පෙරේරා මහත්මයා සමඟ එතුමා ගමනක් යන ගමන් කියලා තිබුණා ඔය සෝමතිලක ජයමහ කියන්නේ අනාගතයේ බොහොම ඉදිරියට එන ගායකයෙක් කියලා.
සන්නස: ඔබතුමා ගුවන්විදුලියට ගායනා කරපු මුල්ම ගීතය කුමක්ද?
සෝමතිලක මහත්මා: ඒක මෙහෙමයි සිදුවුණේ. ඒ දවස්වල මගේ රාජකාරිය හැටියට තිබුණේ වෙළඳ සේවයේ සංගීත වැඩසටහන් වලට අවශ්‍ය වාදන ශිල්පීන් ගායන ශිල්පීන් කැඳවීමට කටයුතු යෙදීම. ඒ සඳහා අවශ්‍ය ස්ටුඩියෝ සම්පාදනය කිරීම. ආදී දේවල්. ඉතින් මේ නිසා අපේ වාදක මණ්ඩලයේ සියලූම ශිල්පීන් වගේ මම අඳුරනවා., ඒ ගොල්ලෝ දිවා ආහාරය ගත්තට පස්සේ පැය දෙකක් විතර විවේකයක් ගන්නවා. මේ කාලයේදී සංගීත කාමරය ගිහිල්ලා සංගීත භාණ්ඩ වාදනය කරන ගමන් හෙමිහිට ගීත ගායනා කරනවා. මේක බලාගෙන හිටපු වාදක මණ්ඩලයේ උදවිය මට කීප විටක්ම කියලා තියෙනවා ඔබට හොඳට ගී ගයන්න පුළුවන් ඇයි ගීතයක් කරන්නැත්තේ කියලා. මේ ස්ථානයට ආපු වින්සන් ද සිල්වා කියන සංගීතඥයා මම ගීත ගායනා කරන ආකාරය බලාගෙන හිටියා. හඳ මාමා කියලා ළමා වැඩසටහනක් ගුවන් විදුලියේ තිබුණා. මේකෙ සංගීත කොටස කළේ විල්සන් සිල්වා කියන සංගීතවේදියා. එක් දිනක් එම වැඩසටහනට ලැබී තිබුණු ගීතයක් පටිගත කිරීමට නියමිතව තිබුණා. එම ගීතය තනි පුද්ගලයෙක් සහ සමූහ ගායනයක් ලෙස පුරුදු පුහුණු කළ එකක්. ගීත පටිගත කිරීම සියලූම දේවල් සූදානම් කර තිබුනත් එහි තනියම ගායනා කළ යුතු කොටස පුරුදු කළ ගායකයා ඒ වෙලාවේ පැමිණ සිටියේ නැහැ. මේ නිසා මේ සඳහා මට ආරාධනය කළා. නමුත් ඒ මොහොතේ මම අංශයක සේවය කරමින් සිටි නිසා මා එය ප‍්‍රතිකෂේප කළා. පසුව එම වැඩසටහන් නිෂ්පාදකයා අපේ අධ්‍යක්ෂකවරයා වන ලිවී විජේමාන්න මහතාගේ අවසරය ඒ සඳහා ලබාගත්තා. ඉන්පසු මා එම ගීතය ගායනා කළා. එය තමයි පසුව මා තනිවම ගායනා කළ දස බිම්බර මාර සෙනඟ නැමැති ගීතය. එය රචනා කළේ තලංගම පේමදාස මහත්මයා ඒ තමයි ගුවන්විදුලියෙන් මගේ කටහඬ සහිතව ගීයක් ප්‍රචාරය වුණු මුල්ම අවස්ථාව. සරල ගී වැඩ සටහනක පද රචනය සංගීතය හා ගායනය යන ත‍්‍රිත්වයම මා විසින්ම කරමින් මුලින්ම ගැයූ ගීතය හැටියට හැඳින්විය හැක්කේ සුනිල්වන් නුවන් යුග යන ගීතයයි.
පසු කලෙක සියලූම ගායන ශිල්පීන් පිළිගත් ක‍්‍රමවේදයකට ශ්‍රේණිගත කළ යුතු යැයි ගුවන් විදුලි සංස්ථාවෙන් තීරණයක් අර ගත්තා. මේ වෙලාව වෙනකොට අමරදේව මහත්මයා, සනත් නන්දසිරි මහත්මයා ආදී අය සුපිරි ශ්‍රේණියේ සරල ගී ශිල්පීන් හැටියට ගුවන්විදුලි සංස්ථාව මගින් කරන ලද පරීක්ෂණ වලින් තෝරාගෙන තිබුණා. මා ද ඇතුළුව සියලූම ශිල්පීන් වර්ගීකරණය කිරීම සඳහා ඉන්දියාවේ සංගීත විද්‍යාලවල උපදේශිකාවක් වන දීපාල් නාග් කියන සංගීතඥවරිය ගෙන්නුවා. මේ සංගීත පරීක්ෂණයට පෙනී සිටි ශිල්පීන් අතරින් දාහත් දෙනෙකු සුපිරි ශ්‍රේණියට තේරුණා.
අමරදේව මහතා, සනත් නන්දසිරි මහතා, නන්දා මාලනි මහත්මිය, මොහිදීන් බෙග් මහතා ඇතුළු තවත් අය තේරුනේ මෙම සුපිරි ශේණිය සඳහා.මමත් තේරුණේ එම සුපිරි ශේණියට. ඒ තත්වයෙන් නොසිටි සුනිල් එදිරිසිංහ මහතාද මේ පරීක්ෂණයෙන් සුපිරි ශ්‍රේණියට තේරුණා.. B ශ්‍රේණියට 40 ක් පමණ, C ශ්‍රේණියට 200 ක් පමණද තේරුණා.
සන්නස: ඔබතුමාගේ එදා ඉඳලා අද දක්වාම ඉතාමත්ම ජනප‍්‍රිය ගීතයක් තමයි ”සැදෑ අඳුර ලොව ගලන වෙලාවට’’ කියන ගීතය මේ ගීතය ගැන යමක් කිව්වොත්.
සෝමතිලක මහත්මා: මෙම ගීතය එය පටිගත කළේ මගේ දෙවෙනි සරල ගීත වැඩසටහන යටතේ. ඒ 1969 වසරේ. නමුත් එම ගීතය ප‍්‍රචාරය වුණේ නෑ. පසුව 1971 අප්‍රේල් කැරැල්ල ආපුවාම මේ දවස් ටිකේම වගේ රටේ ඇඳිරිනීතිය දැම්මා. හවස 6න් පස්සේ කාටවත් එළියට බහින්න බෑ. ඉතින් ඒ වෙලාවෙ බොහොමයක් අය ගෙදරට වෙලා ගුවන්විදුලියට සවන් දෙන එක තමා කලේ. සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කට්ටියම ගෙදරට එකතු වෙලා ගුවන්විදුලියට සවන් දෙනවා නේ. ඉතිං ඊට ගැලපෙන ගීතයක් විදිහට තමයි මේ ගීතය ඉදිරියට ආවේ. 1969 වකවානුව වෙනකොට ගුවන් විදුලියට හරි දැක්මක් තිබුණේ නැහැ. ගීතයක් පටිගත කලාම ඒක තියාගන්නවද එහෙම නැත්නම් මකලා දානවා ද යන වග ගැන හරි විනිශ්චයක් තිබුණේ නැහැ. මම ගායනා කරපු සමහරක් ගීත මම කියලම මකලා දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ගීතයක් ගායනා කළාම එම ගීතය ඩන්ස්ටන්ද සිල්වා මහත්මයා ගීත ගබඩාවට ගිහිල්ලා පසුව සවන් දෙනවා. මම ගයපු හැම එකටම වගේ එතුමා මකා දමන්න එපා කියන පණිවිඩය ලියා තබනවා. ඔහු සංගීත අංශයේ ප‍්‍රධානියෙක්. ඒ වගේම මගෙත් ගුරුවරයා. පසුකාලීනව ඒවාට නිසි ප‍්‍රතිපත්තිය ඇවිල්ලා යම් යම් නීති රීති ගෙනාවා.
සන්නස: සැදෑ අඳුර ලොව කියන ගීතය ඔබතුමාගේ ම රචනයක් , ඒ වගේම තවත් විශිෂ්ට සංගීත රචනා වක් තමයි නවදැලි හේනක කියන ගීතය මෙම ගීතයේ භාෂාව භාවිතා කරපු ආකාරය දිහා බැලූවම භාෂාව පිළිබඳ විශේෂ පරිණත භාවයක් දක්නට ලැබෙනවා ඔබතුමාට මේ වගේ පරිණත භාෂා දැනුමක් ලැබුණේ කොහොමද?
සෝමතිලක මහත්මා: මම උසස් පෙළ හදාරමින් සිටිය දිනවල තමයි මට රැකියාව ලැබුණේ , ඒ නිසා පාසලෙන් උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව මට අහිමි වුණා. මම ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරපු යුගයේ නතර වෙලා හිටියේ මරදානේ ඞීන්ස් පාරේ එක්තරා තැනක. එම නවාතැන අසලම තමයි ශ‍්‍රී ලංකා විද්‍යාලය පිහිටලා තිබුණේ. මේ විද්‍යාලයේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය දක්වා පන්ති තිබුණා. එය භාරව කටයුතු කළේ බද්දේගම විමලවංශ හිමියන්. උන්වහන්සේ භාෂා විශාරදයෙක්.මට උන්වහන්සේගෙන් සිංහල භාෂාව ඉගෙනීමේ අවස්ථාව ලැබුණා. ගොඩක් භාෂා ඥානය දියුණු කරගන්න ඉවහල් වුණේ ඒ හිමියන් කිව්වොත් නිවැරදියි. ඊට අමතරව භාෂාව සම්බන්ධ පොතපත කියවීමටත් මා පුරුදුව සිටියා. නවදැලි හේනක ගීතය බිහිවුණේ එක්තරා සත්‍ය සිද්ධියක් මුල්කරගෙන මගේ මිතුරෙක් එක්තරා තරුණියක් සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන හිටියා ඒ තරුණිය එතරම් රුවැත්තියක් නොවුනත්, ධනය බලය අතින් ඉහළ තැනක නොසිටියත්, මොහුගේ සිත ඇය කෙරෙහිත් ,ඇගේ සිත මොහු කෙරෙහිත් තදින් බැඳී තිබුණ. මේ සම්බන්ධතාවයට මොහුගේ මව විරුද්ධයි. ඇයට හිටපු එකම දරුවා මොහුයි. දිනක් ඔහුගේ මව මා සමග පැවසුවා ”අනේ පුතේ මොන එකකට අපේ එකා අර කෙල්ලට වහ වැටුණද මන්දා, මං හොඳ ලස්සන රස්සාවක් තියෙන වටින කෙල්ලෙක් අපේ පුතාට බලලා තියෙනවා, මෙයා ඒකට කැමති නෑනේ, ඒ වෙන මොන හේතුවක් වත් නිසා නෙමෙයි අර කෙල්ල නිසා, අනේ පුතේ පුතා මැදිහත් වෙලා වත් මේ සම්බන්ධතාවය නතර කරලා දෙන්න’’ කියලා. පස්සේ මිත‍්‍රයා මගේ බෝඩිමේ නතර වෙන්න ආවා, කොළඹ එයාගේ වැඩ කටයුත්තක් සඳහා. මම ඔහුගෙන් මේ ගැන ඇහුවා. එතකොට ඔහු කියා සිටියේ ඔය ලස්සන කෙල්ලෝ මට ඕන නෑ මේ කෙල්ල මට හොඳටම ලස්සනයි, මට ඒ හොඳටම ඇති කියලා. ඒ වෙලාවේ මට මතක් උනා බුද්ධ චරිතයේ එන නන්ද කුමාරයාගේ කතාව මේ සත්‍ය සිදුවීම නන්ද කුමාරයාගේ දිව්‍යංගනාවන් බැලීමට යාමේ සිදුවීමත් එක්ක ගලපලා ගීයක් රචනා කළා එය බෙහෙවින් ජනප‍්‍රිය වුණා.
සන්නස: ඔබතුමා කොපමණ ගීත ප‍්‍රමාණයක් ගායනා කරල තියනවද?
සෝමතිලක මහත්මා: එකසිය හතලිහක් පමණ ගායනා කරලා තියෙනවා. ඒවායින් 30ක් බුදු ගුණ සහ දේශාභිමානී ගීත. සීඞී කරන ආයතන වලට උවමනා උනේ ප්‍රේම ගීත. ඒ නිසා ඒගොල්ලෝ බොදු ගුණ ගීත ඉල්ලනවා බොහොම අඩුයි. නමුත් මං ගයපු ගීත බොහොමයක් ඒගොල්ලෝ කමක් නෑ මේක ගමු කමක් නෑ මේකත් ගමු කියමින් සීඩි වලට ගත්තා. ගයපු ගීත වලින් හැටක් පමණ සීඞී කරන සමාගම් මගෙන් ලබාගෙන තියෙනවා.
සන්නස: මම අහල තියෙනවා ගීත ප‍්‍රචාරයෙන් හෝ සංගීත සංදර්ශන වල ගායනයෙන් හෝ ඔබතුමාට ලැබෙන මුදලින් කොටසක් ගීත රචකයාට සහ සංගීතඥයාට යවනවා කියලා. සාමාන්‍යයෙන් එය මේ ක්ෂේත්‍රයේ අපි නොදකින දෙයක්. ඒ කාරණය ඇත්තක්ද?
සෝමතිලක මහත්මා: මා ගීත 140ක් පමණ ගායනා කොට ඇතත් ඒවායින් ජනප‍්‍රිය තත්ත්වයට පත්වෙලා ඇත්තේ ගීත හතළිහක් පමණ. මේකට හේතුවක් තමයි මෙම ගීතයේ ගායනය චිත‍්‍රවත් වීම එහෙම නැත්නම් ඒවායේ සංගීතයේ ඇති විචිත‍්‍රවත් බව එහෙමත් නොවේ නම් ගීත රචනයේ ඇති සිත්ගන්නා සුළු භාවය. උදාහරණයක් වශයෙන් පොඩි දුවගේ සිනා වැලයි ගීතය ම හැම ප‍්‍රසංගයකට ම ගියහම ඉල්ලන ගීතයක්. එහි සංගීතය අතින් බැලූවොත් එතරම් විචිත‍්‍ර භාවයක් නෑ, සාමාන්‍ය විරිදු පෙලක්. ගායනය අතින් බැලූවත් එය අසීරු ගායනයක් නොවේ. නමුත් රසිකයාට මෙය වඩාත්ම ආසන්න වී ඇත්තේ එහි ඇති පද රචනයයි. එයින් පෙන්වන්නේ ගැමි ගෙදරක ඇති අව්යාජ සුන්දරත්වය මේ දිහා බැලූවහම ඇත්තටම ඒ ගීතයෙන් යම් කොටසක් ගීත රචකයාට හිමිවිය යුතුයි. මා කල්පනා කළේ ගීතයකින් මා යම් මුදලක් උපයනවා නම් එයින් යම් කොටසක් රචකයාට, සංගීතඥයාට ලබාදෙන්න. ඒ අනුව තමයි මං කටයුතු කළේ.
සන්නස: ඔබතුමා ගැයූ ඇතැම් ගීත ද අවුරුදු 50 ක් ගතවෙලත් එකසේම රසිකයින් ප‍්‍රිය කරනවා නමුත් මේ නවක පරම්පරාවේ ගීත හරි ඉක්මනින් රසිකයින්ට අමතක වෙලා යනවා. මේ ගැන ඔබතුමාට යමක් කියන්න පුළුවන්ද?
සෝමතිලක මහත්මා: මේකට ගොඩක් බලපාල තියෙනවා ගීතයේ පද මාලාව අද බිහිවන ගීත වැඩි හරියක් අර්ථශූන්‍ය පදමාලා. ගීතයක පද මාලාවක් කිව්වම ඒක සත්‍ය අසත්‍යය යන කරුණු දෙකෙහි නිසි සම්මිශ‍්‍රණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇතැම් විට එයින් දැක්වෙන කරුණු වටහා ගැනීමට තරමක් කල්පනා කරන්නත් සිදු වෙනවා. අනික් කරුණ එයට යොදා ගන්නා භාෂාව රළු වචන වලින් තොරවිය යුතු අතර භාෂාව ගීතවත් විය යුතුයි. අනෙක් කරුණ අද ගීත වල දක්නට ලැබෙන්නේ අදෝනාවක්.ඒ වගේම ඒ ගීත ඒකාකාරියි . මේ නවක ගායක ගායිකාවන් හොඳ පදමාලාවක් තෝරාගෙන ඒකට නිසි සංගීතයක් යොදවා ගත්තනං ඒ ගීතත් දීර්ඝකාලීනව පවතින ඉඩ තිබුණා. ශිල්පීන් අදක්ෂ නැහැ.
සන්නස: ඔබතුමාගේ කටහඬ තවමත් එදා සේම පවතිනවා මේකෙ රහස කුමක්ද?
සෝමතිලක මහත්මා: දැන් වතුර බහින කානුවක් අපි කාලයක් තිස්සේ සුද්ද නොකර සිටියොත් මොකද වෙන්නේ? එහි දිය සෙවෙල් බැඳිලා කොළරොඩු පිරිලා පිට අවශ්‍ය දේ සිදුවන්නේ නැතුව යනවා ඔය වගේ තමයි අපේ කටහඬත්. ඒක පවත්ව ගන්නද නිසි කලට එය සුද්ද කර ගත යුතුයි කටහඬ කියලා කියන්නේ මනසේ ඇතිවන සිතුවිලි දාමයන් ශබ්ද බවට පෙරලන ශරීරයේ එක්තරා අංගයක්. බොහොමයක් වෙලාවට නිසි පවිත‍්‍ර කිරීමක් නොතිබූ විට අපට අවශ්‍යය ශබ්දය ගැනීමට නොහැකි වන තත්ත්වයට පත්වෙනවා. මෙය සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ ඇතිවන සෙම කොටස් නිසා. මෙය වලක්වා ගැනීමට හැකිතරම් සීතල පානය නොකිරීම සුදුසු ආහාර වර්ග ගැනීම සහ අත්‍යාවශ්‍යයෙන්ම අපේ ඉන්ද්‍රයන් ගේ ක‍්‍රියාකාරිත්වය නිසි පරිදි ස්වර අභ්‍යාස තුළින් පවත්වාගෙන යාම කළයුතු වෙනවා.
සන්නස: ඔබතුමා අලූත් ගීත කරලා තියෙනවද? එහෙම නැත්තං කරන්න බලාපොරොත්තු වෙනවද?
සෝමතිලක මහත්මා : මම අලූතින් ගීත තිස් දෙකක් ගායනා කරලා තියෙනවා .ඒවා සියල්ලක්ම පෞද්ගලික ශබ්දාගාර වල පටිගත කරන ලද ගීත. මට ගුවන් විදුලි සංස්ථාවේනුත් ආරාධනාවක් ලැබුණා අලූත් ගීත හයක සරල ගී වැඩසටහනක් කරන්න කියලා. ඒ වෙලාවේ මම එතුමට කිව්වා අලූත් ගීත කරන්න පුළුවන් මම අලූතෙන් ගීත තිස් දෙකක් කරල ඔබතුමාලට දීල තියෙනවා. ඒවා ඔබතුමාලගේ ආයතනවලින් ප‍්‍රචාරයට පත් කරන්න කියලා. එතුමා හරි හරි මම එක කරනවා කිව්වට අද වෙනකන් ඒහෙම දෙයක් කෙරුණෙ නෑ . 70 දශකය තමයි මේ රටේ සංස්කෘතිකමය ගීතමය ප්‍රබෝධයක් ඇති වෙච්ච වකවානුව ඒ යුගයේ ගුවන් විදුලියේ හිටිය ඉතාමත් දක්ෂ පාලකයෝ . රිජ්වේ තිලකරත්න කියලා එහෙම දක්ෂ සභාපති කෙනෙක්. එතුමා තමන්ගෙ වාහනයෙන් ගමනක් බිමනක් ගියත් වාහනයේ තිබෙන ගුවන්විදුලි යන්ත‍්‍රයෙන් ආයතනයේ වැඩසටහන් වලට සවන් දෙමිනුයි යන්නේ. නොගැලපෙන ගීතයක් එහෙම ප‍්‍රචාරය වුනොත් එවෙලේම එම නිවේදකයාට, නිෂ්පාදකවරයාට බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ යුගයේ හිටපු සියලූම නිලධාරීන් ක්ෂේත්‍රය සම්බන්ධව ප‍්‍රවීණයෝ. නැවතත් ඒ තත්වයක් ආවොත් ගුවන් විදුලියෙත් සරල ගී වැඩසටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
සන්නස: ඔබතුමාට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා අපගේ ආලින්දය සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ඔබතුමාට තව තවත් මිහිරි ගීත ඉදිරියට ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ලැබේවා! ඔබතුමාට දීර්ඝායුෂ පතමින් පතමින් අපි සමුගන්නවා ආයුබෝවන් !!
සෝමතිලක මහත්මා: ඔබතුමා ඇතුළු සන්නස කාර්ය මණ්ඩලයට මාත් සුභ පතනවා ආයුබෝවන්!
චිත්‍රාන් මොරකන්ද ගමගේ – ආලින්දය