වික්ටර්ට රුපියල් 25,000 ක් ඔනෑ විය. ඔහු තමන් ඉස්සර රැකියාව කළ ආයතනය හිමිකරු සිල්වා මහතා හමුවට ගොස් 25,000 ක් ඉල්ලීය. වික්ටර් අවංක මිනිහෙක් හෙයින් සිල්වා එය දුන්නේය.
’’සිල්වා සර්, මම මේක අනිවාර්යයෙන්ම ලබන අඟහරුවාදාට ගෙනල්ල දෙනවා.’’ වික්ටර් පොරොන්දු වුයේය.
ඊළඟ අඟහරුවාදා පැමිණි මුත් සිල්වා මහතාට දීමට මුදල් සොයා ගැනීමට වික්ටර්ට අපහසු විය. ඔහු පසුව වැඩ කළ ආයතනයේ හිමිකරු පෙරේරා මහතා හමුවට ගොස් රු 25,000 ක් ඉල්ලීය. වික්ටර් අවංක මිනිහෙක් හෙයින් පෙරේරා මහතාද ඔහුට එම මුදල දුන්නේය.
’’පෙරේරා සර් මම මේ මුදල එන සිකුරාදාට නොවැරදීම ගෙනල්ල දෙනවා’’. වික්ටර් කීවේය.
වික්ටර් එම මුදල සිල්වා මහතාට දී පොරොන්දුව ඉටු කළේය. සිල්වා වික්ටර් කෙරේ තවත් පැහැදුනේය. සිකුරාදා දිනය පැමිණියේය. පෙරේරා මහතාට දෙන්නට වික්ටර් අත මුදල් නොවීය. ඔහු යළිත් සිල්වාගෙන් මුදල් ඉල්ලා පෙරේරට දුන්නේය. මෙසේ සති කිහිපයක් වික්ටර් පෙරේරාගෙන් සිල්වාට සිල්වාගෙන් පෙරේරාට මුදල් හුවමාරු කර දුන්නේය. දිනක් සිල්වා හා පෙරේරා යන දෙදෙනා එක්ව නගරයේ ආපන ශාලාවක මධුවිත තොල ගාමින් සිටිනවා වික්ටර් දුටුවේය.
ඔවුන් දෙදෙනා අසලට පැමිණි වික්ටර් ”සිල්වා සර්, පෙරේරා සර් මම සිකුරාදාට සිල්වා සර්ගෙන් සල්ලි අරන් පෙරේර සර්ට ගෙනැල්ල දෙනවා.අඟහරුවදට පෙරේර සර්ගෙන් සල්ලි අරන් සිල්වා සර්ට ගෙනල්ල දෙනවා. සර් මට මේක තවදුරටත් කරන්න අමාරුයි. දැන් සර්ල දෙන්නත් අඳුනන එකේ අඟහරුවාදටයි සිකුරාදටයි සර්ල දෙන්නම සල්ලි හුවමාරු කරගන්නකො. ඔන්න මම ආයේ එන්නෙ නෑ. මම යනවා එහෙනං’’ කියා වික්ටර් පිටව ගියේය.