ආලින්දය ජනිත් වික්‍රමගේ සමග…

අද ආලින්දයට පැමිණෙන්නේ මේ දිනවල  ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර බෙහෙවින් කතා බහට ලක්වන ජනප්‍රිය චරිතයක්.ඔහු ජනිත් වික්‍රමගේ.

ජනිත් අපි ඔබව සන්නස ආලින්දයට ඉතා ආදරයෙන් පිලිගන්නවා.ආයුබෝවන්! ජනිත් .

ආයුබෝවන්! චිත්‍රාන්,

අද ඔබේ නම ලාංකීය සිනමා ලෝලීන් අතර දැඩි කතාබහට ලක්වෙනවා. ඒ මේ දිනවල තිරගතවන “ද ගේම්”  චිත්‍රපටය නිසා. ඔබ සිනමාවට පිවිසුනේ කොහොමද කියල මතක් කළොත් ? 

2006 වර්ෂයේ උදයකාන්ත මහත්මයාගේ “සිරි පොද වැස්ස”චිත්‍රපටයෙන් තමයි මම මගේ සිනමා දිවිය ආරම්භ කළේ. මහේෂ් මුණසිංහ මහත්මයාගේ “රශ් ” චිත්‍රපටය ඇතුළු චිත්‍රපට අටකට  මේ වනවිට  රංගනයෙන් දායකවෙලා තියෙනවා.අලුත්ම චිත්‍රපටය තමයි  “ද ගේම්” . ඒ වගේම මම ටෙලිනාට්‍ය 40 කට වඩා වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා.

ලංකාවේ මේ දිනවල පවතින්නේ ආර්ථික වශයෙන් මිනිසුන්ට ඉතාමත්ම දුෂ්කර , තමන්ගේ කාලයෙන් වැඩිහරියක් පෝලිම්වල ගතකරන්නට සිදුව ඇති, ගමන් බිමන් ඉතා කරදර කාලයක්. මේ වගේ කාලයක වුනත් “ද ගේම් ” චිත්‍රපටය  දින දහයක් ඇතුලත විසි පන් දහසකට වඩා වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් නැරඹුවේ ඇයි ?

ඔව් චිත්‍රාන්, පසුගිය දින දහය ඇතුළත “ද ගේම්” චිත්‍රපටය මිලියන දහයකට වඩා වැඩි ආදායමක් උපයල තියෙනවා.කොවිඩ් වසංගතයෙන් පසුව ලංකාවේ ඉහලම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චිත්‍රපටය තමයි “ද ගේම්”

එහෙම ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙම චිත්‍රපටය ලබා ගන්නට හේතුව ?

 සාමාන්‍යයෙන් බොහොමයක්  චිත්‍රපට හිමිකරුවන්  කියන්නේ තමන්ගේ චිත්‍රපටය ඉතාම සාර්ථක චිත්‍රපටය බව. මම හිතන්නේ අපේ චිත්‍රපටයක් ගැන අපිම වර්ණනා කරන එක හරි නෑ. නමුත්  “ද ගේම්” චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෝ තමයි කියන්නේ එයින් ඔවුන් ඉහල තෘප්තියක් විනෝදයක් ලැබූ බව.මෙම චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් නරඹන්නට එක්  හේතුවක්  තමයි ප්‍රේක්ෂකයින් තුළින්ම මහජනතාව වෙත  ඉහල ප්‍රචාරයක් ලැබීම. 

අනෙක්  කාරණය තමයි මෙම නිර්මාණයට අපි දක්වපු අවංක භාවය.පැහැදිලි වචනයකින් කිව්වොතින් සමහර නිර්මාණ වලින් කරන්නේ ප්‍රේක්ෂකයින් ඇන්දවීම. මෙම නිර්මාණය නරඹපු ඕනෑම අයෙකුට තේරනවා  චිත්‍රපටයේ අවංක ප්‍රයත්නය සහ නිර්මාණකරුවන් ඊට දක්වා ඇති අවංක කැපවීම.

තවත් වැදගත්ම කරුණක් තමයි රන්ජන් රාමනායක මහත්මා මෙහි ප්‍රධාන චරිතය රඟපෑම.ඔහු සිරගත කර ඇති අවධියක තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ. රන්ජන් රාමනායක කියන්නේ හැමදාම සත්‍ය වෙනුවෙන් පෙනී සිටපු සත්‍ය යුක්තිය වෙනුවෙන් අභීතව කතා කරපු ගුණගරුක මහත්මයෙක්. ඔහුට ඕනෑතරම් ඉඩකඩ තිබුණා  පවතින රජයකට එකතු වෙලා ඇමතිකමක් ලබාගෙන අතිසුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න. මහජනයා වෙනුවෙන් පෙනී සිටිමින් ඒ සියල්ල අහිමි කරගත් පුද්ගලයෙකුට රට වැසියා දක්වන උපහාරක් විදියටත් මම දකිනවා මෙම චිත්‍රපටයට දක්වන ආදරය ඇල්ම සහ ප්‍රතිචාරය. ඔහු මෙම චිත්‍රපටයේ එස් අයි විජේ ගේ චරිතය රඟපාන්නේ. මම රඟපාන්නේ එස් අයි අජේගේ චරිතය. 

1970 දශකයේ ලංකාවේ සිනමා ශාලාවක දකින්නට ලැබුන ප්‍රේක්ෂක උද්‍යෝගය මෙම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයින් තුළින් අද දකින්නට පුළුවන්. විසිල් ගසමින් විටින්විට අත්පුඩි ගසමින් චිත්‍රපටයට සමවැදී ප්‍රේක්ෂකයින් එය නරඹන අයුරු දැකපු මටනම් ඇතිවන්නේ පුදුමාකාර සතුටක්.

ඒ වගේම මෙම චිත්‍රපටය පවුලේ සියල්ලටම එකට නැරඹිය හැකි සභ්‍ය, පවුලේ චිත්‍රපටයක්. එහි දෙපැත්ත කැපෙන අශීලාචාර දෙබස් කිසිවක් අඩංගු නැහැ.

එන අගෝස්තු මාසයේ මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියාලිවේ මෙල්බර්න්,පර්ත්,සිඩ්නි,කැන්බරා සහ බ්‍රිස්බේන් නගර වල ප්‍රදර්ශනය කරන්නට වැඩ කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඇයි හදිසියේම විදේශ රටක දර්ශන පවත්වන්නට හිතුවේ?.

නිර්මාණය වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට යැවීම තමයි ප්‍රධාන පරමාර්ථය. එතුළින් ලැබෙන ආදායම් වලින් මෙම කර්මාන්තය නොවැටී පවත්වාගෙන යාමත් බලාපොරොත්තුවක්.මෙම චිත්‍රපටයට තිබෙන ඉල්ලීම ඉතා ඉහලයි.විදෙස් රටවල් වල සිටින අපේ ප්‍රේක්ෂකයින් ද ගේම් චිත්‍රපටය එම රටවල් වල පෙන්වන ලෙස කරන ලද ඉල්ලීම තමයි එය හදිසියේම කරන්නට හේතුව.ඕස්ට්‍රේලියාවෙන් පසුව අපි මෙම චිත්‍රපටය නවසීලන්තය, කැනඩාව, එංගලන්තය,ඩුබායි යන රටවල් වලට ගෙන යාමට කටයුතු කරනවා. ඇමෙරිකා එකසත් ජනපදයෙනුත් මේ සඳහා ඉල්ලීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඔබේ පියා ආනන්ද වික්‍රමගේ මහත්මයා දැන් රංගනයෙන් ඈත් වෙලා වගේ පේනවා?

තාත්ත ආස කරන සුදුසු නිර්මාණයක් ලැබුණොත් රඟපානවා කියල කියනවා.අම්මත් නිර්මාණ කටයුතු කරගෙන යනවා.

මල්ලි සංඛේත් ,එයත් නිහඬයි. සිඳු ටෙලි නාට්යෙත් එයා හදිසියේම ඉවත්වෙලා ගියා වගේ දැනෙනවා.

හදිසියේ නෙවෙයි. එයා කලින් දැනුම් දීල ඉවත් වෙලා ගියේ. එයාගේ භාර්‍යාව එංගලන්තයේ. එයත් එංගලන්තයේ ජීවත් වන්නේ. ඉදිරියේදී ලංකාවට ඇවිත් ක්‍ෂේශ්ත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරයි.

ඔබේ පැමිණීම ගැන සන්නස බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියා ඔබට සමුදෙනවා.

ඒ වගේම මට “සන්නස” පුවත්පත ලබා දුන් මේ අවස්තාව වෙනුවෙන් සන්නසට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.ආයුබෝවන්!  

සාකච්ඡා කළේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

More Posts

Popular Categories

Latest Posts

169675379_10225061704438614_2916904755295385553_n (1)
ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්
Screen Shot 2023-05-26 at 13.27
බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ...
Beethowan 1 (1)
හඬ නොඇසෙන මහා සංගීතවේදියා
Mix friut &baked merignue in Pineapple busket (1)
ඔබේ නිවසේ විශේෂ අවස්ථා සඳහා සරල අතුරුපසක්! - සූප විනෝදය

Contact Details

Social Media

Send us your ideas

© 2022 All rights reserved by Sannasa Media Group

Tell Us Your Idea About Sannasa