අද මැද පිටුව සරසන්නේ චිත්‍ර ශිල්පියෙක් ගායකයෙක් වාදකයෙක් ගීපද රචකයෙක් විශේෂාංග හා තීරු ලිපි රචකයෙක් ගත් කතුවරයෙක් ලෙස ඔබ අප අතරේ ආදරය දිනා සිටින සිසිර දිසානායක කලා කරුවා.
ආයුබෝවන් සිසිර !
ආයුබෝවන්!
අපි මේ කතාබහ ඔබේ ළමා කාලය, පාසැල් කාලය කෙසේද ගතකලේ යන කරුණු වලින් ආරම්භ කරමු.
මගේ පියා සංගීත ගුරුවරයෙක්.ගම මැදමහනුවර.අම්මා ගුරුවරියක්.අම්මාගේ ගම කෑගල්ල.අම්මගේ අයියා චිත්‍ර ගුරුවරයෙක්. මා කුඩා කාලේ ඉතාමත්ම ආසා කලේ චිත්‍ර වලට.ඒ කාලේ මම හුණු කෑලි වලින් ගෙදර බිම කළු සිමෙන්තියෙ චිත්‍ර අඳිනව.ඒවායේ ගුණදොස් මාමා මට කියල දෙනවා.එක දවසක් මම පෙරහැරක් බලන්න ගිහිල්ල බිම දිගටම ඒ පෙරහැර ඇන්දා. මේක දැකපු අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා. පෙරහැර මැකෙයි කියල අම්ම බිම අතුගාන්නෙ නැතිව දින ගණනක් හිටිය.ගෙදරට එන එන අයට මගේ චිත්‍රය පෙන්නුවා.මාමත් ඒක ගොඩක් අගය කළා.මේ කාලේ වෙනකොට මම පාසැල් යන වයසේත් නෙවෙයි.
තාත්තා සංගීත ගුරුවරයෙක් උනාට අපට පොඩිකාලේ සංගීත භාණ්ඩ එහෙම අල්ලන්නවත් දුන්නේ නැහැ.මොකද ඒවා ඉස්කෝලෙට අයිති දෙපල නේ. ඒ දවස් වල අපේ ගෙදරට එනව මකුලොළුව මහත්තය, චම්පා කල්හාරිගේ පියා ජයසේකර මහත්තය වගේ සංගීත ශිල්පීන්. මේ අයගේ කතාබහ ඇහිලාම මටත් සංගීතය පිලිබඳ අදහසක් ඇල්මක් ඇතිවුනා ඒ කාලෙම.මගේ තාත්තගේ හොඳම යාලුවෙක් තමයි ගුණසේන පොත්සාප්පුව අධිපති ගුණසේන මහත්මය. තාත්ත ඒ කාලේ මට පොත්පත් ගොඩක් ගෙනල්ල දෙනවා.මේ නිසාම පුංචි කාලේ ඉඳලම මම පොතට ඇළුම් කරන පුද්ගලයෙක් වුණා.
මම පාසලට භාර දුන්නේ කෙලින්ම දෙවන ශ්‍රේණියට.ඒ අවිස්සාවේල්ලේ සීතාවක විද්‍යාලයට. පස්සේ මම පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙනවා හය වෙනි ශේණියට. තාත්ත සංගීතය ඉගෙනගෙන තියෙන්නේ මාලිගාකන්දේ සංගීතොදයේ .ඒ කාලේ ලතා වල්පොල මහත්මිය ඇතුළු පැරණි ගායක ගායිකාවන් රැසක් එහි ඉගෙනගෙන තිබෙනවා.තාත්තත් එක්ක මේ අය ගොඩක් සම්බන්ධයි. සමහර සමස්ත පාඨශාලා තරග විනිශ්චයන් සඳහා තාත්තා යනකොට මාවත් එක්කරගෙන යනවා.මේ තැන් වලදී මට ගොඩක් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දැකගන්නට ලැබුණා . මකුලොළුව මහත්තයාගේ ජන සංගීතය ආශ්‍රයෙන් නිර්මාණය කරපු දෙපානෝ,පහනින් පහන, ආදී නිර්මාණ මම තාත්ත එක්ක ගිහින් බලල තියෙනවා. ඒවායේ ලයනල් රන්වල මහත්තය බැද්දගේ මහත්තය එහෙම රඟපෑවා.මට වයස අවුරුදු නවයේදී තාත්තත් එක්ක ගියා කලණ මිතුරෝ චිත්‍රපටිය බලන්න. එකේ සින්දු වලින් පහක්ම ගායනා කලේ වික්ටර් රත්නායක මහත්මය. මම වික්ටර් රත්නායක මහත්මයට හා එතුමාගේ ගීතවලට ඇලුම් කරන්න පටන්ගත්තේ ඊට පස්සේ තමයි.
මට වයස අවුරුදු දොළහකදී තාත්තා අපව දාල ගියා. මියයනකොට කොට තාත්තගේ වයස අවුරුදු 44 යි. තාත්ත මට දීල ගියපු දෙයින් තමයි මම ගායනය වාදනය හා ගී පද රචනය යන දේ වලට මංපෙත් පෑදුණේ. “ස” ප්‍රසංගය බලන්න මම කුඩා කාලේ ඉඳලම ගිහිල්ල තියෙනවා.
පසුකාලෙක මම වයලීනය හා බටනලාව වාදනය කරන්න පුරුදුවුනා.
ඔබ පාසලේ තූර්ය වාදක කණ්ඩායමේත් දස්කම් දක්වල තියෙනවා.
මා පෙනීසිටි දහයේ විභාගය එන් සී ජී ඊ . එය මා ඉතා හොඳින් සමත්වුණ නිසා භාහිර ක්‍රියාකාරකම් වලට් අම්මා අකමැත්තක් දැක්වුයේ නැහැ.ඒ නිසා මම පාසල් තූර්ය වාදක කණ්ඩායමේත් ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේත් වැඩ කළා .නවකයින්ට බටනලා පුරුදු කළා . ඔය කාලයේ මම තාත්තගේ යාළුවෙක්ගෙන් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තා. ආනන්ද විද්‍යාලයේ තිබුණ “අනඳ නුවණ” කියල සංගමයක්. වෛද්‍ය අනිල් ජාසිංහ ඒ කාලේ ඒකෙ සභාපති.මම කටයුතු කලේ සංස්කාරක හැටියට.අපේ පාසලේ බිත්ති පුවත්පත් බොහොමයකට මම චිත්‍ර ඇන්දා. ඊළඟ බිත්ති පුවත්පත බෝඩ් එකට වැටෙන්නත් කලින් මගේ චිත්‍ර කවුරුහරි ගලවාගෙන යනවා.මම හිතන්නේ ඒවායින් ඒගොල්ලන්ගේ ගෙවල් වල බිත්ති සරසන්න ඇති. මම ඔය බිත්ති පුවත්පත් බොහොමයකට කවි ලිව්වා. මගේ කවි ලිවීමේ හැකියාව ඒ හරහා වැඩි දියුණු වුණා .
මම උසස් පෙලට ඉගෙනගත්තේ ජීව විද්‍යා අංශයෙන්.ඒ අතරේ මම ගණිතයත් ඉගෙන ගත්තා.උසස් පෙළ මම එක වතාවක් ජීවවිද්‍යා විෂයයන් විභාගයට ලියල ඊළඟ වතාවේ ගණිත විෂයයන් ගෙන් ලියල සමත්වෙලා මොරටුව විශ්වවිද්‍යාලයට ගියා සිවිල් ඉංජිනේරු පාඨමාලාව හදාරන්න.
ඔබේ මුල්ම රැකියාව රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාවේ.ඒ ගැන තොරතුරු සඳහන් කලොත්.
ඔව් මම එහි මාර්ග සැලසුම් කිරීම, ඉඳිකිරීම, නඩත්තු කිරීම, පාලම් ටවර් ආදී දේවල් කලේ.අධිවේගී මාර්ගයේ පැලියගොඩ අන්තර් හුවමාරුව මගේ සැලසුමක්.මට ඒ සඳහා සහතික පවා ලැබුණා . 1987 කඩුවෙල පාලම මගේ නිර්මාණයක්.
කඩුවෙල පාලම ඔබේ ජීවිතයටත් පාලමක් වුනා කියල ආරංචියි.
ඔව් මගේ දයාබර බිරිඳ මට හමුවන්නේ එතැනදී. අපි ඔස්ට්‍රේලියාවට ආවෙත් බිරිඳගේ සහෝදරියකගේ ඉල්ලීම මත. මට මෙහෙදි ජගත් එදිරිසිංහ සොයුරා මුණගැහිලා කිව්වා “පහන” මාසිකයට ලියන්න කියල. පසුව මම ඕස්ට්‍රේලියාවේ තියෙන සියලුම පුවත්පත් සඟරා වලට ලිව්වා.
ඔබ ගීත කොපමණ සංඛ්‍යාවක් රචනා කරල තියෙනවද?
මේ වන විට මා රචනා කළ ගීත 214 ක් ගායක ගායිකාවන් රැසක් ගායනා කොට තිබෙනවා. ඔවුන් අතර වික්ටර් රත්නායක, නන්දා මාලනී, රෝහණ වීරසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, ලයනල් රන්වල, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, කීර්ති පැස්කුවෙල්, රොහාන් බුලේගොඩ, නෙලූ අධිකාරී, නීලා වික්‍රමසිංහ, ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, සහන් රන්වල, වසන්තා මධුරන්ගනී, යන මහත්ම මහත්මීන් ප්‍රමුඛයි.
ලියූ ගීත අතරින් “සඳ සාවී මා, නුඹේ සිරික්කියට, කහමලියා, හායි බායි, නියපෙල සිඳලයි දෑස පෙළන්නේ,ආදී ගීත ජනප්‍රියයි.
ඔබේ පුතා හා දුව කොහොමද ඔබේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ?
මේ දෙදෙනාම සංගීතය ඉගෙන ගන්නවා.දුව “සිනාවී” කියල සංගත තැටියක් එළි දැක්වූවා.එහි තවත් ගායක ගායිකාවන් කිහිප දෙනෙක් සමඟ දුව ගීත ගයනවා.පුතා චිත්‍ර වලට දක්ෂයි. දෙදෙනාම ඉංජිනේරු වෘත්තියේ රැකියාව කරනවා.
ඔබ සංගත තැටි කිහිපයක් සහ පොත්පත් කිහිපයක් එළි දක්වල තියෙනවා.
ඔව්, මගේ ගී පද රචනා ඇති සංගත තැටි පහක් තියෙනවා. සිසිරගේ කුරුටු ගී, වික්ටර්ගේ ගී විමංසා සහ අනඳපති නමින් මා පොත් තුනක් පළකොට තිබෙනවා. වික්ටර්ගේ ගී විමංසා විශ්ව විද්‍යාල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කොට තිබෙනවා. අනඳපති කියන්නේ ආනන්ද විද්‍යාලයේ දිගුකාලයක් සේවය කල කර්නල් ජී ඩබ්ලිව් රාජපක්ෂ මැතිඳා ගැන ලියවුන පොතක්.
ඔබේ නිර්මාණ පිළිබඳව ඔබ සැහීමකට පත්වෙනවද ?
මම හිතන්නේ තවමත් හොඳම නිර්මාණය මගෙන් බිහිවුනේ නැහැ කියලයි. අනාගතේ මම බලාපොරොතු වෙනවා දැනට මා කර ඇති නිර්මාණ වලට වඩා වටිනා නිර්මාණ බිහිකරන්න.
මම හිතන්නේ ඔබේ රැකියාවට අමතරව තවත් ආදායමක් කලාව මගින් ලබා ගන්නවා.
නෑ ඒක එහෙම නෙවෙයි.මම කලාව කිසිකලෙකත් ආදායම් මාර්ගයක් කරගෙන නැහැ. ඉදිරියට එහෙම කරන්නෙත් නැහැ.
හොඳයි අපේ ආරාධනය පිළිගෙන ඔබ මෙහි පැමිණීම ගැන සන්නස පාඨකයින් වෙනුවෙන් මා ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
මා මේ අවස්තාවට කැඳවීම සම්බන්ධව සන්නස වෙත මගේ ප්‍රණාමය පුදකර සිටිනවා.
සාකච්ඡා කළේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ.