එදා මුළු නගරය ම දැළි වළඳකින් වසා දැමුවාක් බඳු විය. අහස කළු වලාකුළුවලින් පිරී තිබිණ.මාතර කොටුවේගොඩ ඒ කුඩා පැල්පත ඉදිරිපිට සිය ගණනක් දෙමළ ජනයාත් දහස් ගණනක් සිංහල ජනයාත් රැස්ව සිටියහ. තෑ මිතුරන්ගේ හඬා වැළපීම් මැද ඒ මිනී පෙට්ටිය පැල්පත තුළින් එළියට ආවේය. ඒ මුත්තු අයියා වැතිරි සිටින මිනී පෙට්ටියයි.
ඉන්දීය දෙමළ කම්කරුවකු වූ ඔහුගේ මිනී පෙට්ටිය එළියට ආවේ සිංහල කම්කරුවන්ගේ අත්වලිනි. මිනී පෙට්ටිය පසුපස සැතපුම් කාලක් පමණ දිග පෙරහරක් විය. සිංහල-දෙමළ මිතුරෝ මාරුවෙන් මාරුවට මිනී පෙට්ටියේ බර සිය දෑත්වලට ගත්හ. සුසාන භූමියට ගියේ සැතපුම් දෙකක් පමණ දුර මඟක් ගෙවමිනි.
මහා වැස්ස ඇද වැටෙන්නට පටන් ගති. අවමගුල් පෙරහැරේ ආ පිරිස මඟ නතර නොවූහ. ඇඳුම්වලින් දිය බේරිණ. සිරුරු සීතලේ ගැහිණ. එහෙත් සිංහලයෝ සිය කම්කරු සහෝදරයාගේ මිනී පෙට්ටිය පසු පස නොනැවතී ගමන් කළහ.
මුත්තුගේ බිරිඳ-කම්කරු කාන්තාවක වන සින්නම්මා හඬ හඬා ඒ කතා පුවත කීවාය.
මුත්තු සිය දෙමාපියන් සමඟ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ 1921 දී ය. එවිට ඔහුගේ වයස අවුරුදු හයයි. දෙමාපියෝ මාතර කසළ ශෝධකයෝ වූහ. මුත්තු ද සිය දෙමාපියන් ගිය මඟම ගියේය. පසුව ඔහු මාතර නගර සභාවේ කංකානි කෙනකු බවට පත් විය. ඔහුගේ බිරිඳ පොදු වෙළෙඳ පොළේ කුණු ඉවත් කරන්නියක වූවාය. මාතර ” නිව්සිනමා” අසල කුඩා පැල්පතක් අටවාගත් ඔවුහු එහි අවුරුදු තිස් ගණනක් ජීවත් වූහ. පසුව කොටුවේගොඩට යන්නට ඔවුන්ට සිදු විය. ඔවුන්ගේ සැබෑ මිතුරෝ නෑදෑයෝ සිංහල කම්කරුවෝ වූහ.
1958 ජාතිවාදි කෝලාහල සමයේ සින්නම්මා බියේ ගැහුණාය. මුත්තු ගොළු වී සිටියේය.දරුවන් සමඟ ආරක්ෂිත ස්ථානයකට පලා යාමට ඇය සැරසුණාය. සිංහල මිතුරෝ ඔවුන්ගේ බිය දුරු කළහ.
“ඔබට හානියක් වන්නේ නැහැ. මාතර හැර යන්න එපා.” ඔවුහු කීහ.
බිය නිසා මහ පාරට නොබැස සිටි ඔවුන්ට ඒ දිනවල කෑම බීම ලැබුණේ සිංහල මිතුරන්ගෙනි. සාමය ඇති වූ පසු ඔවුහු පාරට බැස්සහ.
1977 දී ද සිංහල – දෙමළ ගැටුම් උණුසුම මැද ඔවුහු සැඟවීමට තැන් සෙවූහ. සිංහලයෝ ඔවුන් රැක ගත්හ.
1983 කළු ජූලිය ඔවුන්ගේ සිත්වල ගිනි ඇවිළුව ද එහි රස්නය සිරුරට නොදැනිණ.හැමවිට ම සිංහලයෝ ඔවුන් වටා සිටියහ.
මුත්තු සේවයෙන් විශ්‍රාම ගෙන කලකට පසු හෘදයාබාධයකින් පෙළෙන්නට විය. මාතර සිංහල වෛද්‍යවරු ඔහුට නොමිලයේ ප්‍රතිකාර කළහ. ඇතැම් විටෙක සිංහල මිතුරෝ ඔහුට ඉංග්‍රීසි බේත් ගැනීමට මුදල් දුන්හ.
වර්ග අඩි 180 ක් වූ කුඩා පොල් අතු පැල්පතක ඔහු අවසන් හුස්ම හෙළුවේය.
“මගේ මළකඳ මා කලින් සිටි ගෙය ළඟින් ගෙන යන්න. මගේ පරණ සිංහල මිතුරන්ගේ ගෙවල් ළඟින් ගෙන යන්න. සිංහල ක්‍රමයට මගේ අවමඟුල කරන්න”. මුත්තුගේ අවසාන ඉල්ලීම විය.
ඔහුගේ මළ ගමට කොළඹ මෝදර මිත්තරට්ටුව දෙමළ නෑදෑයෝ දෙසීයක් පමණ ආහ. ඔවුහු දින හයක් ම මාතර රැඳී සිටියහ. ඔවුන්ට කෑම බීම ලැබුණේ සිංහලයන් එකතු කළ මුදල්වලිනි. කොටුවේගොඩ ඒ. එච්. ජේනෝනා මහත්මිය සිය නිවසේ සහ ඉඩමේ ඔවුන්ට නතරවීමට ඉඩ දුන්නාය. අවමඟුලේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ සිංහල මිතුරන්ගෙනි.
මාතර මහා විද්‍යාලය අසල පොදු සුසාන භූමිය එදා මිනිසුන්ගෙන් පිරී තිබිණ. එක දිගට වැස්සේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඔහුගේ ගුණ කියා ඔහුට නිවන් පැතූහ.
තුබුණේ දෑස රිදවන අඳුරකි. දෙමළ කම්කරු සහෝදරයාගේ මිනී වළ දෙපස ඉටිපන්දම් දැල්වූවෝ සිංහලයෝය.
සුළඟ ඉටිපන්දම් නිවා දැමීය. සිංහලයෝ යළි ඒවා දැක්වූහ. යළි නිවිණ, යළි දැල්විණ. යළි නිවිණ. වැස්ස පැවූ පසු යළි ඉටිපන්දම් දැල් වූ සිංහල මිතුරෝ කැරකෝප්පු දොරකඩට පැමිණ දෙමළ මිතුරාගේ සොහොන දෙස බැලූහ. සොහොන දෙපස ඉටිපන්දම් දැල් වෙයි.
උතුරු නැගෙනහිර කොටි සටන් මොහොතකටවත් ඔවුන්ගේ සිතට නැඟුණේ නැත. සිංහල – දෙමළ සහෝදරත්වය හැර අන් කිසිවක් ඒ මොහොතේ ඔවුන්ගේ සිත්වල රැඳී තිබුණේ නැත.
(මාතර වේරගම්පිට සාමවිනිසුරු පී. ඩබ්. ජයවීර මහතාගේ
අනුග්‍රහය මේ ලිපිය ලිවීම සඳහා ලැබිණ).
දෙනගම සිරිවර්ධනයන්ගේ “බරවාකුඹුක සියදෝරිස් ව්‍යාපාරය” නමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී.