ජගත් ජේ එදිරිසිංහ – මැද පිටුව 

සන්නස පුවත් පතේ ආරම්භක කතුවරයාට අපි අද මැද පිටුව සරසන්නට ගෞරවයෙන් ආරාධනා කළා.  පොත් විසි එකක්  සහ පුවත්පත් හරහා ලේඛණ  විශාල ප්‍රමාණයක් එළිදක්වා ඇති  මෙතුමා පුවත්පත් කලාවේදියෙක් ලෙස ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ගුවන්විදුලි නිෂ්පාදකවරයෙක් හැටියට නිවේදකයෙක් හැටියට කර ඇති සේවය අපමණයි. අපි ඔබ ආයුබෝවන් කියා පිලිගන්නවා.

 මේ දයාබර ජගත් ජේ එදිරිසිංහ.

 මම කැමතියි ඒ ළමා කාලයෙන්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඔබේ උපන් ගම් පළාත එහෙම කොහෙද?

ආයුබෝවන් මල්ලි, මම මුලින්ම සන්නසට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව.

 මම ඉපදුණේ නුගේගොඩ. මුලින්ම පාසැල් ගියේ තලපත්පිටිය බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයට. එහි 6 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවා. මට ඒ කාලෙදිම තමයි පුවත්පත් සංස්කාරකවරයෙක් වන්නට ලැබුනේ. පුවත්පතේ නම  “ළමා ලෝකය”.  පාසලේ මිතුරන් කීපදෙනෙක් එකතුවෙලා අතින් ලියලා කොළ එකතු කරල හදපු පත්තරයක්.  මේක අපි විද්‍යාලයේ හැමෝටම වගේ කියවන්න සැලැස්සුවා. ඒ කාලෙ ඉඳලම මම කෙටි කතා නවකතා ලිව්වා. පසුව ඒ විදුහලෙන්  මාව කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කිරීමට මගේ දෙමව්පියෝ කටයුතු කළා. එහි මා ඉගෙන ගත්තේ වසරක් පමණයි. එතනින් පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වුණා. ආනන්ද ශාස්ත්‍රාලයේ දී අපි කීප දෙනෙක් එකතු වෙලා “මුතුහර” කියලා සඟරාවක් කළා. ඒක අපි ළමයි අතර විකුණුවා. පාසලෙන් අයින් වුණාට පස්සේ “විද්‍යාව” කියලා පත්තරයක් කලා. මේ සියල්ලන්ගේම සංස්කාරකවරයා හැටියට කටයුතු කළේ මම. විද්‍යාව සඟරාවත් පාසල් වලට යැව්වා නොයෙකුත් ක්‍රම හරහා. ඒ දිනවල මේ සඟරාව පාසැල් අතර ඉතාම ජනප්‍රිය වුණා

 ඔබ උපන්ගෙයිම කලාව අරගෙන ආපු කෙනෙක්. හරියට ලියන්න කියන්න පෑන හුරු වුණු ගමන් පුවත්පත් සංස්කාරක වරයෙක්. රැකියාව වශයෙන් කළේ.

නුගේගොඩ ඉන්න කාලේ අපේ සංගීත කණ්ඩායමක් තිබුණ “සමර් නයිට්” කියල. ඒකට මම සිංදු ලියල තනු දාල දෙනවා.මට ගායනය කරන්නත් වාදනය කරන්නත් පුළුවන්. අපි කලා පරම්පරාවක කට්ටියක්. අම්මගෙ මාම ටවර්හෝල් කාලේ කලා ශිල්පියෙක්.ඔහු ඒ දවස්වල හඳුන්වල තියෙන්නේ විශ්වකර්ම ගුරුතුමා කියල.එයාගේ පුතා කලාභූෂණ ලයනල් ගුණතිලක.අම්මගේ අයියා ස්ටීවන් ගුණතිලක එයා චිත්‍රපටකලා  අධ්‍යක්ෂක වරයෙක්.ලයනල් සරත් කියන පුවත්පත් කලාවෙදියාත් මගේ මාම කෙනෙක්.

 මා වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවෙක්  හැටියට කටයුතු කළේ. 1997 ඕස්ට්‍රේලියාවට ආවා. මෙහේ ඇවිල්ල මට කාලයක් තිබුණ  රැකියාවක් නැතුව. ඒ කාලය ඇතුළත මම  ශ්‍රී  ලංකාවේ ලක්බිම සහ රාවය  පුවත්පත්වලට ලිපි ලිව්වා. මෙහෙ තිබුණා සෙරන්ඩිබ් නිව්ස්  කියලා පුවත්පතක්. මේ පුවත්පතේ සිංහල පිටු හතරක් තිබුණා .එහි සිංහල වල  ව්‍යාකරණ දෝෂ රාශියක් මා දුටුවා. මේ පිළිබඳව මම පුවත්පතට දැන්නුවා. ඊට පස්සේ පුවත්පතෙන් මට ආරාධනයක් ලැබුණා  පත්තරේ සිංහල පිටු ටික හරියාකාරව කරලා දෙන්න කියලා. එතෙන්ට සම්බන්ධ වෙච්ච මම පිටු හතර පිටු  හයක් දක්වා වැඩිකොට සිංහල පාඨකයින් අතර ගෙන ගියා.  පුවත්පත ව්‍යාපාරික අරමුණු පෙරදැරිව කළ පුවත්පතක්. පස්සේ මම  වරුණ එක්ක ඕස්ට්‍රේලියාවේ පහණ කියලා පුවත්පතක් පටන් ගත්තා. ඒ 2000 වර්ෂයේදී. එය අතිශය ජනප්‍රිය වුණා. තවමත් පහණ  පුවත්පත  ඕස්ට්‍රේලියාවේ පළවෙනවා.පහණ පුවත්පතේ අයිතිය වෙනත් කෙනෙක් ලබා ගත්තට පස්සේ සාලිය, ආනන්ද ,අශෝක එක්ක එකතුවෙලා “සන්නස” පුවත්පත පටන් ගත්තා. ඒ අය කිව්වා පුවත්පතේ සංස්කාරක වරයා හැටියට මට කටයුතු කරන්න කියලා. වසර දහයක් මම සන්නස පුවත්පතේ සංස්කාරක වරයා හැටියට කටයුතු කළා. මේ කාලෙදි මම පුවත්පත්වලට ලියූ කෙටිකතා එකතුවක්  විදියට “කන්ද උඩ මාලිගාව” කියලා පොතක්  ප්‍රකාශයට පත් කළා. 

 ඔබ පොත්පත් විශාල සංඛ්‍යාවක් එළි දක්වලා තියෙනවා. ඉන් කීපයක් නොයෙකුත් තරගාවලි වලින් ජයග්‍රහණය ලබලා තියෙනවා.

  මෙහෙමයි , 2010 දී ප්‍රකාශයට පත්වුණ මගේ “රාජාලි පියාපත” කියන පොත ගොඩගේ සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ වුණා. 2013 “පිනි” කියන නවකතාව දයාවංශ ජයකොඩි නවකතා තරඟයෙන් හොඳම නවකතාව හැටියට ජයග්‍රහණය ලැබුවා. 2020 දී “ලතු අතුල නගරය” කියන කවිපොත ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ  රජත මයුර  සම්මානයට නිර්දේශ වුනා.

දැනට ඔබ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක වරයෙක් නිවේදකයෙක් හැටියට කටයුතු කරනවා.ඒ පැත්තට යොමුවුණේ කොහොමද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන ප්‍රධාන ප්‍රජා ගුවන්විදුලි ආයතනයක් වන 3 zzz  ආයතනයේ  කොමිටියට පත්වෙලා ගුවන් විදුලි වැඩසටහන් පටන් ගත්ත 2000 දී. එහි ශනිදා සාදය කියල වැඩසටහනක් තවමත් අපි කරගෙන යනවා සෙනසුරාදට.

මම අහල තියෙනවා ජගත් එදිරිසිංහ කියන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන නවකයින්ට ගොඩක් උදව් කරන අත්වැලක් වෙන පුද්ගලයෙක් කියල.ජගත් එදිරිසිංහම මේ ගැන පැහැදිලි කරනවානම්.

මම මහලොකු පුද්ගලයෙක් නෙවෙයි. මම රේඩියෝ පිටුවෙන් පහණ හා සන්නස පත්තරවලින් මෙහෙට ආපු නවකයින්ට ඉදිරියට එන්න මගපාදල තියෙනවා.පහන හා සන්නස පත්තර වලින් තියපු තරග වලින් ආපු නවකයින්  අද බොහොම ඉදිරියට ගිහිල්ලත් තියෙනව. ඉතින් ඒ අය ඒ බව කියනවා. ඒවා ඇහෙනකොට මට ඉතින් නිහතමානි සතුටක් දැනෙනවා. ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියෙන් අපි ගොඩක් අයට අත දීල තියෙනවා. මේ වගේ තරග වලට මට අනුග්‍රහය දක්වන කණ්ඩායමක් ඉන්නවා.ඒ අය මං ගැන ලොකු විශ්වාසයක් තියල තියෙනවා.

ජගත් එදිරිසිංහ කියන්නෙ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉන්න පතාක යෝධයෙක්.ශ්‍රී ලංකාවේ පුවත්පත් වල අය මට මුණගැහුනම මගෙන් අහන දෙයක් තමයි ජගත් එදිරිසිංහ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නේද කියන එක.

ඔව් ලංකාවෙන් එන බොහොමයක් කලා ශිල්පීන් මෙහෙට ආවම මාව සොයාගෙන එනවා.මංජුල වෙඩිවර්ධන ත් මෙහාට ආපු වෙලාවේ ඉස්සෙල්ලම මාව සොයාගෙන තමයි ආවේ. මට ආදරය කරන රසිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා.මගේ සතුට තමයි ඒක.

ළඟදි අලුත් ලිපි මොනවත් දැක්කෙ නැහැ. මොකද ඒ?

පසුගිය කාලයේ මම අසනීප වෙලා හිටිය, ඒකෙන් ගොඩක් වැඩ අත්පසු වුනා.ආපහු මම ඉක්මනට පටන්ගන්නවා.

ලංකාවට එහෙම ආපහු පදිංචියට යන්න අදහසක් නැද්ද? 

මම මෙහෙ හිටියට මගේ හිත තියෙන්නේ ලංකාවේ.අපි ලංකාවට පදිංචියට යන්න සියළු කටයුතු යොදලයි තිබුණෙ. ඒත් වර්තමාන තත්වය නිසා ඒ අදහස තාවකාලිකව අතහැරලා දාලයි තියෙන්නෙ.

ඔබ ආ ගමන ඔබ කොහොමද දකින්නේ.

ආ ගමන කටුකයි. නමුත් ඒ ගැන සතුටුයි.මම කරලා තියෙන්නේ ඒ වෙලාවට කරන්න තියෙන හොඳම දේ.මම තෘප්තිමත් පුද්ගලයෙක්.අනාගතයේත් කලාවට යම් සේවයක් කරමින් අනෙක් අයට උදව් කරමින් කාලය ගතකරන්න බලාපොරොත්තු වෙනවා. 

මේ නොවැම්බර් 26 වැනිදා මගේ ගීත 24 ක් එකතුකරලා සංදර්ශනයක් පවත්වනවා කෙරෝසන් තියෙටර් එකේ.ඒකට මේ දිනවල මහන්සි වෙනවා.

අයියගේ වටිනා කාලයෙන් කොටසක් සන්නස වෙනුවෙන් ලබා දීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියල මා ඔබෙන් සමුගන්නවා.

මා මේ අවස්ථාවට කැඳවීම සම්බන්ධව මල්ලිට සහ ඩිලාන් මල්ලිට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්!

සාකච්ඡා කලේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

More Posts

Popular Categories

Latest Posts

169675379_10225061704438614_2916904755295385553_n (1)
ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්
Screen Shot 2023-05-26 at 13.27
බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ...
Beethowan 1 (1)
හඬ නොඇසෙන මහා සංගීතවේදියා
Mix friut &baked merignue in Pineapple busket (1)
ඔබේ නිවසේ විශේෂ අවස්ථා සඳහා සරල අතුරුපසක්! - සූප විනෝදය

Contact Details

Social Media

Send us your ideas

© 2022 All rights reserved by Sannasa Media Group

Tell Us Your Idea About Sannasa