අද අපි ආලින්දයට ආරාධනා කලේ ගුරුවරයෙක්,ඉහල රාජ්‍ය නිලධාරියෙක්,විද්වතෙක්,විශිෂ්ට පුවත්පත් විශේෂාංග රචකයෙක් හා ග්රන්ථ කර්තෘ වරයෙක් සහ සුන්දර මිනිසෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදවත් දිනාගත් දයාරත්න වීරසේකර මහතාණන්. ආයුබෝවන් කියල ඔබ පිලිගන්නවා.
ආයුබෝවන්!
ඔබේ ජීවිත කතාව බොහොම ආදර්ශමත්. ළමා කාලයේ ඉඳලා ඒ ගැන විස්තර කලොත්.
මම ඉපදුණේ කළුතර දිස්ත්‍රික්කයේ වරකාගොඩ කියන ගමේ. අපේ අම්මා ගෘහණියක්,තාත්තා මොනිටර් ගුරු මහත්මයෙක්. ඒ කාලේ ඉස්කෝල වල එහෙම ගුරු තනතුරක් තිබුණ. අපට රබර් වත්තක් තිබුණ.වත්තේ ආදායමත් තාත්තගේ වැටුපත් අපට ජීවත්වෙන්නට හොඳටම ප්‍රමාණවත් වුණා ඒ කාලේ.තාත්තට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණ.අපට ඒ කාලේ තාත්ත ඉංග්‍රීසි ඉගැන්වුවා. මම මුලින්ම පාසල් ගියේ වරකාගොඩ ප්‍රාථමික විද්‍යාලයට.ඒ පාසලෙන් මුලින්ම 5 ශිෂ්‍යත්වය විභාගය පාස් උනේ මම. 6 පන්තියේ ඉඳල මම ගියේ මතුගම මධ්‍ය මහා විද්‍යාලයට.ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සාමාන්‍යපෙළ විභාගයට ලිව්වේ 1955 වසරේ.මේ අවුරුද්දේ තමයි ලංකාවට පුර්ණ සුර්යග්‍රහණයක් දැක බලාගන්නට පුළුවන් වුණේ. අපිට ඉස්කෝලෙන් ඒ සඳහා පහසුකම් සැලස්වූවා.සාමාන්‍යපෙළ විභාගයට විශිෂ්ඨ සම්මාන නවයක් ලබා ගනිමින් විභාගය ඉහලින්ම සමත්වන්නට මට පුළුවන් වුණා .
උසස් පෙළ මට අවශ්‍ය විෂයයන් කරන්න මතුගම පාසලේ පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා මේබව එවකට අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතාට තාත්ත ගිහින් කිව්වා. ඇමතිතුමා වහාම මැදිහත්වෙලා එහෙම ඉස්කෝල නැති අපි 18 දෙනෙකුට වේයන්ගොඩ මධ්‍යමහා විද්‍යාලයේ පහසුකම් සැලස්වූවා.උසස් පෙළ සමත්වුණේ එහෙදි.
1960 දී ශ්‍රීලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයට ඇතුළුවුණා. ඒ කාලේ පේරාදෙණියේ තිබුණේ කලා පීඨය විතරයි. විද්‍යා හා වෛද්‍ය පීඨය තිබුණේ කොළඹ. අන්තිම අවුරුද්දේ අන්තිම මාස තුනේ අපට පේරාදෙණියට යන්න වුණා. විජේවර්ධන ශාලාවේ මුලින්ම ඉගෙන ගත්තේ අපි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරපු ගමන්ම මට ගුරුපත්වීමක් ලැබුණා හික්කඩුවට. අවුරුදු පහක් එහෙ වැඩ කළා. විවාහය සිදුවුනෙත් එහෙදි. පසුව මම අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය කරලා 1972 විද්‍යා අධ්‍යාපන නිලධාරියෙක් හැටියට උසස්වීමක් ලැබුවා රත්නපුරේට.පස්සේ කළුතරට ආවා.
පාසල් සමග ඔබ කටයුතු කරද්දී ඉතාමත් රසවත් සිද්ධි විශාල ප්‍රමාණයක් තියෙනවා .ඔබ ඊට පස්සේ විදේශගත වෙනවා වසර පහකට.එහිදීද සිදුවූ රසමුසු කතාන්දර ගොඩක් මා ඔබේ “ආ මග සටහන්” කෘතිය හරහා දැනගත්තා. ඔබ ගැන ලියන්න බොහෝමයක් දේවල් තිබුනත් පුවත්පතේ ඉඩකඩවල ඇති සීමිතබව ඊට හරස් වෙනවා.
අවුරුදු හතරක් ඒ තනතුරේ රැකියාව කලාට පස්සේ මට අවස්ථාවක් ලැබුණා කරන රැකියාවෙන් නිවාඩු අනුමත කරගෙන සී ෂෙල්ස් රාජ්‍යයේ රැකියාවකට යන්න.එහි මම වසර පහක් සේවය කරලා ආපහු ඇවිත් විභාග දෙපාර්තමේන්තුවේ පළමු පන්තියේ රැකියාවකට බැඳුනා.ඒ රැකියාවල් වලින් පසු නෝරාඩ් ආයතනයේ ව්‍යාපෘතියකත්,ද්විතීක අධ්‍යාපනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියෙත් එම් ඩී ගුණසේන ආයතනයේත් කළුතර බෝධි ආරක්ෂක සභාවේත් වැඩ කරලා තියෙනවා.සමහරක් ඒවා ස්වේච්ඡා සේවාවන්
ඔබේ ලියූ ලිපි බොහොමයක් මා කියවා තිබෙනවා.ඒ හැම එකකම එක්කෝ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා.නැත්නම් අපේ ජීවිතයට එකතු කරගන්නට යමක් තියෙනවා. ඉතාමත් සාර්ථක පොත් කිහිපයක් ඔබ ප්‍රකාශයට පත්කරලා තියෙනවා. “ආ මග සටහන්” පොත කියවන්න පටන් ගත්තම කියවල ඉවරවෙනකම් ඉස්පාසුවක් නැති පොතක්. ගුරුවරයෙක් හැටියට ඔබේ ඉගැන්වීමේ ශෛලයයත් සිසුන්ගේ සිත් සතන් ඇද බැඳ ගන්නට ඇති කියල මට මේ පොත් කියෙවුවාම හිතෙනවා. ඔබේ භාෂාව ඉතා සරලයි.නමුත් ඉන් පෙන්වා දෙනදේ ගැඹුරුයි.
මා 2017 වසරේ සිට මෙතෙක් ‘සන්නස’ සඳහා ලිපි 41 ක් සපයා තිබෙනවා. ඒ සියල්ලම පළවුනා. ඒ ලිපි සම්බන්ධව පාඨකයින් දරණ අදහස් මා ඉතා සතුටට පත්කරවන අතර තවදුරටත් ලියන්නට මා ධෛර්යමත් කරන්නේ මගේ පාඨකයන්. “දේශගුණ විපර්යාස අර්බුධය”, “ආ මග සටහන්”, “පරිසරය නිවැරදිව දකිමු”, “Environmental Guidelines for Secondary Schools”, “Teaching and Learning Guidelines” මා ලියූ පොත් සමහරක්.මට ලියන්න හැකිතාක් කල් මගේ පාඨකයින් වෙනුවෙන් ලියනවා.
ඔබේ පවුලේ විස්තර සඳහන් කරනවා නම්.
2020 දී මගේ ආදරණීය බිරිඳ මියගියා. එය මට මහත් පාළුවක් කාන්සියක් පාඩුවක් ගෙන ආවත් සොභා දහමේ යථාර්ථය අවබෝධ කරගත් මම කම්පා වුනේ නැහැ. මට දියණියන් තිදෙනෙක් ඉන්නවා.ඔවුන් තිදෙනාම හොඳට අධ්‍යාපනය ලබපු අය . තුන්දෙනාම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. බාල දුව හෙල්මලී .ඇයත් ලේඛණ කලාවට සම්බන්ධයි. දැනට මම ඉන්නේ දෙවැනි දුවගේ ගෙදර. මුදල් හදල් කෑම බීම කිසිම දේකින් මට අඩුවක් වෙන්නට මගේ දරුවෝ ඉඩතියන්නේ නැහැ. ඒ නිසා මම කිසිම දුකක් සන්තාපයක් නැතිව ජීවත්වෙනවා.
ඔබතුමාට දීර්ඝායුෂ පතමින් මේ සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඔබතුමාගේ කාලයෙන් කොටසක් සන්නස වෙනුවෙන් ලබාදීම ගැන ස්තුතියි.
සාකච්ඡා කළේ චිත්රාන් මොරකන්දෙ ගමගේ