අහස උසට නැඟුණු මහජන බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල,
රක්ෂණ මන්දිරය, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය
දකින මගේ සිතට නැඟෙනුයේ බැතියකි.
ගොඩනැඟිලි නිසා උපන් බැතියක් නොවේ. මෙකී ආයතන නිසා
මතකයට නැඟෙන සැබෑ ජනතා ප්‍රේමියකු නිසා උපන් බැතියකි ඒ.
දුප්පත් ජනතාව ගිනි පොලීකාරයන් ගෙන් මුදා ගැනීමට, ග්‍රාමීය
ආර්ථිකය දියුණු කිරීමට, සුළු ව්‍යාපාරිකයනට අත දීමට, ජාතික ව්‍යාපාරික
පිරිසක් බිහි කිරීමට එතුමා පිහිටවූ මහජන බැංකුව දිවයිනේ
ප්‍රභලතම මුල්‍ය ආයතනයක් විය.
විවිධ මට්ටමේ වංචා වලින් පිරුණු, දේශීය වත්කම් විදේශවලට
ඇදගෙන ගිය සුද්දන්ගේ රක්ෂණ සමාගම් මට්ටු කොට, දහස්
ගණන් ලාංකිකයනට රැකියාවන්ද, ලක්ෂ ගණන් ජනතාවට සහ
දේපළවලට ආරක්ෂාව ද ලබා දීමට එතුමා ඇරැඹූ ශ්‍රී ලංකා රක්ෂණ
සංස්ථාව දිවයිනේ ප්රබලතම රක්ෂණ ආයතනය විය. එය පිහිටුවීමේ
දී එතුමාට දේශීය – විදේශීය මරණ තර්ජන එල්ල විය.
කම්කරු පනත්, පඩිපාලක පනත්, මාතෘ සුබ සාධක පනත්,
කාන්තා දාරකාභිවෘද්ධි පනත් සහ මැයි දින නිවාඩු සමඟ කම්කරුවන්
රැකීමේ විධිවිධාන ගෙන එමින් වැඩ කරන ජනතාවගේ ආරක්ෂකයා
වූ එතුමා හාම්පුතුන්ගේ ඇස්වලට කටුවක් මෙන් විය.
මේ ජනතා ප්‍රේමියා සැබෑ මානව හිතවාදියා මෙයින් දොළොස්
වසරකට පෙර මිය ගිය ටී. බී. ඉලංගරත්න ය. 1913 උපන් ටී. බී. ගේ
මුළු ජීවිතය ම බැඳී තිබුණේ පොදු ජනතාව සමඟ ය.
රුපියල් හැටේ පඩියට වයස අවුරුදු 21 දී (1934 දී) කොළඹ
ආදායම් පාලක දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවයට
බැඳුණු ඔහු වසරකට පසු මහනුවර කච්චේරියට මාරු වූයේ ය. එහි
ඒජන්ත හාමුදුරුවන්ගේ සිට ආරච්චිල දක්වා වූ නිලධාරීහු පොදු
ජනතා පීඩකයෝ වූහ.
කලිසම්, කබා, කරපටිවලින් සැදුණු ‘මහේශාක්‍ය’ නිලධාරින්
අතරට ගිය ටී. බී. ඉලංගරත්න නමැති ලිපිකරුවා ඇඳුමෙන් වෙනස්
විය. ඔහු කලිසමට උඩින් අත් කොට කමිසයක් ඇන්දේ ය. මෙය
අනෙක් නිලධාරින්ට පෙනුණේ අවමානයක් ලෙස ය.
ගැමියෝ ලිපිකරුවන් හමුවීමට පැමිණියෝ බිම හිඳ ගත්හ. ටී.
බී. මේසය ඉදිරිපිට පුටු තබා ගැමියනට හිඳගන්නට කීය. ඔවුන්ගේ
දුක්ගැනවිලිවලට ඉවසිල්ලෙන්, දයාවෙන් කන් දුන්නේ ය.
අනෙක් ලිපිකරුවන්ගේ මේසවල ලාච්චු විවෘත කොටස් තිබිණ.
මේස ළඟ බිම හිඳ ගන්නා ගැමියෝ අර ලාච්චුවට ‘සන්තෝෂම්
දමති. මේ දුසිරිත හෙළා දුටු ටී. බී. කච්චේරිය තුළ කළේ විප්ලවයකි.
“අපි රජයේ සේවකයෝ වගේ ම මහජන සේවකයෝ. රජය
අපට පඩි දෙන්නේ මහජනයා ගෙන් ගන්නා බදුවලින්. එහෙනම්
අපි මහජනයාට සේවය කළ යුතුයි. ඔවුන් ගෙන් අල්ලස් ගන්න
එපා.
ඔහුගේ හඬ ලිපිකරුවන් අතර පැතිරිණ. ඒ මතයට එකඟ වූ
තරුණ ලිපිකරු පිරිසක් ඔහු සමඟ එක්ව රජයේ ලිපිකරු සංගමයේ
ශාඛාවක් මහනුවර දිස්ත්‍රික්කය තුළ ගොඩනැගූහ. ටී. බී. සභාපති
විය. ඒ ශාඛාව ලංකාවේ ප්‍රබල ම ලිපිකරු සංවිධානය විය.
1947 මැයි 18 වැනි දා කොළඹ ගෝල්පේස් පිටියේ පැවැති
කම්කරු රැළිය ඇමතූ ටී. බී. ඉලංගරත්න රජයේ සේවාවෙන් නෙරපා
හැරිණ. හේතුව වූයේ වෘත්තිය සංවිධානයකට එසේ ක්‍රියාකාරි ලෙස
සහභාගි වීම රජයේ සේවකයනට තහනම් වීම ය. තවත් 17 දෙනකුගේ
වැඩ තහනම් විය.
මේ වැඩ තහනමට එරෙහිව 1947- 05- 29 වැනි දා මහා වැඩ
වර්ජනයක් ඇරැඹිණ. ඒ සමඟ ම පැවැති යෝධ පෙළපාළියක
ඉදිරියෙන් ගමන් කළ සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්.
පෙරේරාට රජයෙන් වෙඩි පහරක් එල්ල විය. එය වැදුණේ ඇන්.
ඇම්. අසල වූ කන්දසාමිට ය. කන්දසාමි මළේ ය.
මාස කීපයකට පසු 1947 මහ මැතිවරණය පැවැත්විණ. මහනුවර
ආසනය සඳහා ටී. බී. ඉලංගරත්න ජනතා කැමැත්ත පරිදි ඉදිරිපත්
විය.
මහනුවර බෞද්ධ සංගමය ඇරැඹීමෙන් ද, පාසල්වල නාට්‍ය
සහ විවිධ කලා ප්‍රසංග පැවැත්වීමෙන් ද, වෘත්තීය අරගලවල
යෙදීමෙන් ද ප්‍රදේශයේ ජනප්‍රිය නායකයකු වුවද ටී. බී.. එ. ජා. ප.
අපේක්ෂකයාට පැරදිණ. ඒ ඡන්ද සිය ගණනකිනි. ඡන්ද පෙත්සමක්
ඉදිරිපත් කැරිණි. එ. ජා. ප. මන්ත්‍රී එයින් පැරැදිණ. යළි මැතිවරණයක්
පැවැත්විණ.
1948 මැයි 18 වැනි දා මැතිවරණය ජය ලැබූ ටී. බී. මහනුවර
මන්ත්‍රී විය.
නියෝජිත මන්ත්‍රණ සභාවේ දී ඔහු කළ මංගල කතාවෙන්
කියැවුණේ වහා ලබා දිය යුතු වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳවය.
යළි ඡන්ද පෙත්සමක් නිසා ටී. බී. පැරදිණ. ඊළඟ මැතිවරණයෙන්
ඔහුගේ බිරිය තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය ජය ලැබුවාය.
1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට හවුල් වූ ටී. බී.
වසර පහකට පසු ඒ පක්ෂයට රාජ්‍ය බලය ලබා දීම සඳහා කැප
වූයේය.
” වතු, බැංකු, ගමනාගමනය, රක්ෂණ සමාගම්, ජනසතු කරනු
රටේ අභ්‍යන්තර වෙළඳාම ලාංකිකයන්ට පවරනු.”
මේ හඬ 1956 මැතිවරණ වේදිකාවට ගෙනාවේ ටී. බී. ය.
ඇමැතිවරයකු වශයෙන් සේවය කළ 16 වසර තුළ ටී. බී. ට සිය
ඉල්ලීම් ම ඉටු කිරීමට හැකි විය.
“වැඩවසම් ක්‍රමයෙන්, ධනපති ක්‍රමයෙන් අධිරාජ්‍යවාදී ක්‍රමයෙන්
ජනතාව බේරා ගත හැකි සමාජ ක්‍රමයක් කරා අප ගමන් කළ
යුතුය ” යි ඔහු 1958 දී පාර්ලිමේන්තුවේ දී කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා වාමාංශික ඡායාව, රතු පාට,
දෑකැති මිටි වැටුණේ ඔහු ගෙනි. ඒ පක්ෂයට වම ගෙන ඒමේ
කපුවා වූයේ ඔහු ය.
මැයි 01 වැනි දා නිවාඩුව, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන, කම්කරු
ආරවුල් පනත්, පඩි සභා පනත, සූතිකාගාර රෙගුලාසි, ළමයින්
රැකියාවල යෙදවීම තහනම් කිරීමේ පනත්, කම්කරු වන්දි පනත්
අර්ථ සාධක අරමුදල් පනත් වැඩ කරන ජනතාව වෙත සහන
සපයමින් අවහිරතා මැද පාර්ලිමේන්තුව හරහා පැමිණියේ ටී. බී.
ගේ පන්ති ප්‍රේමය නිසා ය.
තෙල් සමාගම් ජනසතු කළ අවස්ථාවේ ලෝක මහා
බලවතුන්ගේ තර්ජන විඳ දරා ගැනීමට ඔහුට සිදු විය. පක්ෂයේ ම
සිටි ඇතැම් නායකයන් කකුලෙන් අදිද්දී ඔහු කම්කරු පන්ති
විශ්වාසයෙන් යුතුව තෝරාගත් මාර්ගයේ ම අභීතව ගමන් කෙළේ
ය. අභ්‍යන්තර වෙළෙඳාම ලාංකිකයන්ට පැවැරීම නිසා දේශීය
ව්‍යවසායක පන්තියක් රට තුළ බිහි විය. ගැමියන් පීඩාවට හසු කළ
ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීමට මුල් වූයේ ද ඔහුය.
ලේඛකයකු වශයෙන් ද, නාට්‍ය ශිල්පියකු වශයෙන් ද ටී. බී.
රසවතුන් දිනා ගත්තේ ය. අඹ යාළුවෝ, විලම්බීත ඇතුළු ඔහුගේ
නවකතා සිංහල පාඨකයන්ට අදත් සුන්දර අත්දැකීම් සපයයි. සිත්
රස ගන්වයි.
විසි වසරක් මන්ත්රීකම් කළ ද, සොළොස් වසරක් ඇමැතිකම්
කළ ද ටී. බී. ඉලංගරත්නයන් සිය අඹු දරුවන් සමඟ ජීවතේ වැඩි
කාලයක් ගත කළේ කුලී නිවාසවල ය. “මගෙන් රටට මිස, රටෙන්
මට එපා.” ඔහුගේ පිළිවෙත විය. ගෙය තනා ගැනීමට ලබා ගත්
ණයෙන් ඔහු නිදහස් වූයේ මිය යෑමට මාස තුනකට පෙර ය.
“දැන් මා ණයෙනුත් නිදහස්” ඔහු සතුටින් කීය.
එහෙත් ඒ සතුට විඳීමට ලැබුණේ තෙමසකි.
දුප්පත් ජනතාවට පැල්පතේ වහල සෙවිලි කිරීමට නොමිලේ
දෙන තහඩු ටිකත් සොරා විකුණා ගන්නා මන්ත්‍රීවරුන් සිටින මේ
යුගයේ ටී. බී. ඉලංගරත්නයන් වැනි පිරිසුදු, සැබෑ මානව ප්‍රේමීන්
පිළිබඳව සිහි කිරිම ද සිතට සුවයකි.
සට කපට කමින්, දූෂණයෙන් පිරුණු යුගයක ජීවත් වන අපි
පිරිසුදු සමාජ ක්‍රමයක් සඳහා ඉලංගරත්නලා සොයමු.
පේනතෙක් මානයක නැත. එහෙත් අපි වෙර දරමු. සොයා යමු.
දෙනගම සිරිවර්ධනයන්ගේ “ බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය “ නමැතිග්රන්ථයෙන් උපුටා ගන්නා ලදී. |